පරෙස්සමෙන් ගිහින් එන්න

දෙසැම්බර් 25, 2019

උත්සව සමය සමහර අයට කෑමට වගේම මත් වතුර නැත්නම් ගිනි වතුර පානයටත් සීමා මායිම් නැති කාලයක්. වාහනය අරන් කුරල්ලකු වගේ සමහරු ඉගිළෙන්න ගන්නෙ ගිනි වතුර බලෙන්.

රිය පදවන තැනැත්තා වගේම මහ මඟ ගමන් කරන්නාගේත් ජීවිතය අවදානමේ. උදෑසනට නිවෙසේ සාමාජිකයන් රාජකාරි කටයුතු සඳහා පිට වෙද්දි සෑම ගෘහණියක්ම “සුබ දවසක්. පරෙස්සමෙන් ගිහින් එන්න.”

කියා හද පුරා පැවසුව ද පැමිණෙන තුරු විශ්වාස නැති කාලයක් උදාවෙලා.

මෙසේ ජීවිතයක් අවිනිශ්චිත කරන්නේ හෘදයාබාධයක් හෝ ආඝාත තත්ත්වයක් නොවෙයි. මඟ මරුවා හෙවත් රිය අනතුරුයි.

පසුගිය යුද සමයේදී මිය ගිය ගණනට වඩා, සුනාමියටත් වඩා මිනිසුන් බිලි ගන්නා ප්‍රධාන මාරයා වී සිටින්නේ රිය අනතුරුයි.

වාහන පදවන්නන් මෙන්ම පදිකයන් ද මේ මාරයාගේ ගොදුරුයි.

රිය අනතුරු ලෝකයටම භයානක අනතුරක්.

අඩු වශයෙන් ලෝක ජනගහනයෙන් මිලියන 1.35 ක් මාර්ග අනතුරු නිසා මිය යනවා. වැඩි වශයෙන් මිය යන්නේ මහ මඟ ගමන් කරන්නන්, පාපැදිකරුවන් හා යතුරු පැදි ධාවකයන්.

ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල වැඩිපුර රිය අනතුරු සිදු වෙනවා. රිය අනතුරුවලින් සියයට අනූ තුනක් වගේ සිදුවන්නේ අපේ වගේ රටවලයි.

පුදුමය නම් රථ වාහන සංඛ්‍යාවෙන් සියයට හැටක්ම තිබෙන්නේත් ලංකාව වගේ රටවලයි.

ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ දරුවන්ගේ සහ තරුණ වැඩිහිටියන්ගේ එනම් වයස අවුරුදු 5 - 29 ත් අතර පිරිසගේ මරණයට ප්‍රධානම හේතුව මහ මඟ වන අනතුරු වීමයි.

මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මෙපමණ පිරිසක් ගොදුරු වන්නේ හේතු ගණනාවක් නිසයි. රියැදුරාගේ හෝ මගියාගේ වරද ප්‍රධාන වශයෙන්ම බලපානවා.

බමන මත

සාදවලින් අඩුවක් නැති කාලෙට බමන මතින් පදමට රත් වුණු රියැදුරන් අති භයානකයි. බීමත් රියැදුරකුට මගියකු දුටු විට සාමාන්‍ය රියැදුරකුට වගේ ඉක්මනින් වාහනය නතර කරන්න බැහැ. ඒ අයට ප්‍රතික්‍රියා දැක්වීමට වැඩි කාලයක් ගත වෙනවා. ඒ වෙන කොට වටිනා ජීවිතයක් බිලි අරන් අවසන්. ඇතැම් විට ජීවිතය මරණයෙන් කෙළවර නොවුණත් මරණයටත් වඩා භයානක අත්දැකීමක් ලබා දෙනවා. ඒ ආබාධිතයකු බවට පත් වීම.

අධික වේගය

මත් වතුර වගේම අධික වේගයෙන් වාහන පැදවීමත් අංක එකේ හේතුවක්. වාහනයකින් කුරුල්ලකු මෙන් වේගයෙන් යාම ජවසම්පන්න යොවුන් වියට අභිමානයක්. උත්සව කාලයේ වීරත්වය අවදිවෙනවාත් වැඩියි. අධි වේගය මරු කැඳ වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත් මේ වීරත්වය, අභිමානය තමන්ගේ හෝ වෙනත් අයකුගේ ජීවිතයම පරාජය කරන හේතුව බවට පත් වීමට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෝටර් රථ, මගීන්, යතුරු පැදි පිරි මඟක වාහනයේ වේගය පැයට කි.මි. 30 කට අඩුවෙන් තිබිය යුතුයි. පැයට කි.මී. 60 ක වේගයෙන් යන රථයකට කෙනකු හැප්පීම ඔහු / ඇය තට්ටු 5 ක ගොඩනැඟිල්ලකින් වැටීමට සමාන කරනවා. පැයට කි.මී. 80ක වේගයෙන් යන වාහනයක හැප්පීම තට්ටු 8 ක ගොඩනැඟිල්ලකින් වැටීමට ද පැයට කි.මී. 100 ක වේගයකින් යන වාහනයක හැපීම සමාන කරන්නේ තට්ටු 13 ක ගොඩනැඟිල්ලකින් වැටීමටයි. වේගය පැයට කි.මී. 120 ක වාහනයක හැප්පීම තට්ටු 19 ක ගොඩනැඟිල්ලකින් වැටීමට සමාන වෙනවා. වේගය මරු කැඳවීම මොනතරම් භයානකද ? සාමාන්‍ය වේගය පවා සියයට පහක් කපා හැරීමෙන් මාරාන්තික අනතුරු සියයට තිහකින් අඩු කිරීමට පුළුවන්.

රියැදුරාගේ නොසැලකිල්ල, විනයක් නැතිකම, මාර්ග නීති ගැන අනවබෝධය, මාර්ගයේ තත්ත්වය ගැන දැනුමක් නොමැතිකම, කාලගුණය ගැන අඩු දැනුමක් තිබීම, වාහනය ගැන අවබෝධයක් නොමැතිකම ප්‍රධාන වශයෙන්ම රිය අනතුරුවලට හේතු වෙනවා. ආතතිය, වෙහෙස, අසනීප තත්ත්ව, ගමන සැලැසුම් නොකිරීමත් බලපානවා. සමහරු වාහන එළවන්නේ ඒ ගැන කිසි දැනුමක් නැතුවයි.

සමහර ඖෂධ ගත් පසු වාහන එළවීම සුදුසු නැහැ. රියැදුරකු සැම විටම තමන් ගන්නා ඖෂධ රිය එළවීමට බලපානවා ද කියා විමසිලිමත් විය යුතුයි.

මාපියන්ගේ වරදින් අකාලයේ මහ මඟට ජීවිතය බිලිදෙන ගැටවරයන්ගේ ගණනේ ද අඩුවක් නෑ.

විභාගයක් සමත් වූ පමණින් යතුරු පැදියක් තෑගි දෙන මාපියන් අවාසනාවන්ත විදියට දරුවන්ට වයසට නොගැළපෙන තෑගි දීමෙන් ආයු කාලය කෙටි කරනවා. දරුවන්ට අහුවෙන ලෙස වාහනවල යතුරු තැබීම ඔවුන් කරන තවත් බරපතළ වරදක්.

වේගය අභිමානය කරගත් අනෙකා පරයන්නට වේගයෙන් වාහන පදවන, මහ මඟ කෙළිබිම කරගත් ගැටවරයන්ට වාහනයක රියැදුරු අසුනේ වාඩිවූ විට මුලු ලොවම අමතක වෙනවා. අනුන්ගේ ජීවිතවල වටිනාකම තබා තමන්ගේ ජීවිතය ගැනවත් ගැටවර වයසේ වැඩි දෙනකුට වටිනාකමක් නෑ.

ආසන පටි නොපැලඳීම

මහ මඟ ගමන් ගන්නා මගීන් මෙන්ම රියෙහි ගමන් ගන්නා මගීන් ගෙන් ද වැරැදි සිදුවෙනවා. ආසන පටි භාවිත කිරීමේ නීතිය අකුරට පිළිපැදීමෙන් ඉදිරි පෙළේ අසුන් ගන්නන්ගේ ජීවිත රිය අනතුරකින් සිදුවිය හැකි අනතුරුවලින් සියයට 50 කින් වළක්වා ගැනීමට පුළුවන්. පසු පෙළ ආසනවල අයට පටි පැලඳීිමෙන් සියයට 75 කින් බරපතළ තුවාල වීම් වළක්වා ගන්න පුළුවන්.

උපදෙස් - සෞඛ්‍ය ප්‍රවර්ධන සංගමයෙන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් පැවැත්වූ දේශන මාලාවන් ඇසුරින් සැකසුනකි.

 

2019/12/23 තරුණි බලන්න