සිතෙන්, සිත දකින්න පුරුදු වෙන්න...

මාර්තු 18, 2020

හිත බොහෝ දේට මුල් වේ. පුද්ගලයකුගේ හැකියාව, ශක්තිය, දැනුම ආදී හැම දේකටම හිත බලපෑම් සිදු කරයි. හිත ශක්තිමත් කරගැනීම මඟින් ශක්තිමත් පෞරුෂයක් ඇති පුද්ගලයකු බිහි වේ. එමෙන්ම ගතේ ශක්තිය කොතෙක් තිබුණ ද හිත දුර්වල වූ විට දුර්වල පුද්ගලයකු බිහි වේ.

හිත රිදෙන, බිඳෙන අවස්ථාවල දී අපගේ දෛනික දිවියේ වැඩ කටයුතු පවා අතපසු වන අවස්ථා බොහෝ ය. බොහෝ විට අප සිත් රිදවා ගන්නේ අනෙක් පුද්ගලයන් නියසයි. එහෙත් සැබෑවට ම අප සිතා බැලිය යුත්තේ සිත් රිදීම් අවමකර ගන්නේ කෙසේද යන්න පිළිබඳයි.

හිත රිදෙන ආකාරය දැනගන්න අප කෙනෙක් සමඟ සබඳතාවක් ඇතිකර ගන්නේ කෙසේදැයි තේරුම් ගැනීම වැදගත්. අපි තවත් අයෙක් සමඟ සබඳතාවක් ඇති කරගන්නේ වචනයෙන් හෝ ක්‍රියාවෙනි. නමුත් අප කරන කියන දේ අනුව පමණක් නොව, කරන කියන ආකාරය අනුවද කරන කියන වෙලාව අනුවද ධ්වනිත වන්නේ විවිධ තේරුම් ය. උදාහරණයක් ලෙස, තේ එකක් පිළිගැන්වීම ගතහොත් ක්‍රියාව එකම වුවත් එය ආදරයෙන් දෙන ආකාරය හා තරහින් දෙන ආකාරය එසේම නොදී බැරි නිසා දෙන ආකාරය ආදියෙහි වෙනස්කම් ඔබට සිතා ගත හැකි වේවි.

එමෙන්ම 'හා, දැන්ද ආවේ..' යන්න එය කියන වේලාව අනුව මතු කරන්නේ වෙනස් තේරුම් කිහිපයකි. මෙම කියන කරන දෙයෙහි විවිධ ස්වරූප නිසා අනෙක් තැනැත්තා ගැන 'මොහු මේ වගේ කෙනෙක්' යන හැඟීමක් ඇති වේ. ඇතැම් විට කිසියම් දෙයක් නොකළත් එවැනි හැඟීමක් සිතේ ඇතිවීම වැළැක්විය නොහැකියි. ඒ නිසයි බොහෝ විට කාර්යාලයට අලුතෙන් පැමිණි අයෙක් ගැන පළමු දිනම 'හරි සක්කරවට්ටමක්නෙ ඇවිත් ඉන්නේ...' යැයි පූර්ව නිගමනවලට එළැඹෙන්නේ.

අපි පාරක් ගැන අසන්නට තෝරාගන්නේ එය දන්නවා ඇතැයි සිතන පුද්ගලයෙකි. එක් බසයකට ඇස් නොපෙනෙන තැනැත්තෙක් හා විරිඳු කියන තැනැත්තෙක් යන දෙදෙනකු මඟීන්ගෙන් සල්ලි ඉල්ලුවහොත් අප මුදල් දීමට පෙර මේ දෙදෙනාගෙන් කාට මුදල් දිය යුතු දැයි තීරණය කරන්නේ ඔවුන් පිළිබඳ අපේ සිතේ ඇතිකර ගන්නා 'මිනුම' අනුවයි. යම් කිසි උදව්වක් ඉල්ලන්නට නාඳුනන පිරිසක් අතරින් තෝරා ගන්නේ ද පෙනුමෙන් උදව්වක් කරාවි යැයි සිතන පුද්ගලයෙකි.

මොහොතකට සිතා බලන්න ඔබ දන්නා කෙනෙක් සිටිනවාද ඔහු හෝ ඇය ගැන 'එයා මේ වගේ කෙනෙක්' යැයි ඔබගේ සිතේ කිසියම් අදහසක් නැති අයෙක්. අපට කෙනෙක් ගැන එවන් මතයක් ඇතිකර නොගෙන සබඳතාවක් ගොඩනගා ගැනීමට අපසුය. තරහ, අමනාපය ,නොරිස්සීම වුවද ඇති වන්නේ මෙම 'මානය' නැතිනම් 'මතය' නිසයි.

මෙම උපකල්පනය නිසා ම එම තැනැත්තා ඒ අකාරයට කටයුතු කරන බවට අප බලාපොරොත්තු වේ. මෙතෙක් කාලයක් කළ කී දෙය නිසා පුද්ගලයන් ඒ ආකාරයට ම හැසිරේ යැයි අපි බලාපොරොත්තු වේ. මේ බලාපොරොත්තුව අපේ හිතේ ඇති කරගත් නිර්මාණයකි. ඇතැම් විට එම බලාපොරොත්තුව අනෙක් තැනැත්තා නොදන්නවා විය හැකිය. මෙය කොතරම් අප මුලා කරන සුලුදැයි කිවහොත් යම් අයෙක් පිළිබඳ ඔබ හිතන ආකාරයට ම එම තැනැත්තා ද ඔබ ගැන සිතනවා ඇතැයි යනුවෙන් සිතන්නට ද ඔබ පෙලඹෙනු ඇත. එය සිතේ ස්වභාවයයි.

යම් මොහොතක අනෙක් තැනැත්තාගේ කියුම් කෙරුම් ඔබගේ සිතේ ඇතිකරගෙන තියන 'රාමුවට' නැතිනම් ආකෘතියට අනුව සිදු නොවුණහොත් ඔබගේ සිතේ ඇතිවන්නේ කුමක්ද? ඔබ විසින් ඉදිකරගන්නා ලද සුන්දර චිත්‍රය නැතිනම් සුන්දර නිර්මාණය ඔබ ඉදිරිපිට ම විනාශ වී යාමයි. මෙම තත්ත්වය ඔබ බලාපොරොත්තු නොවූවකි. එවිට ඔබගේ හිතට දැනෙන හැඟීමට අපි 'හිත රිදුණා' යැයි කියමු.

 

2020/03/16 තරුණි බලන්න

 

 

උපදෙස්

කළමනාකරණ උපදේශක දීපාල් සූරියආරච්චි