සේවකයන්ගේ හදවත බඳු කාර්මික ආරවුල් පනත

මැයි 25, 2020

පෞද්ගලික අංශයේ නියුතු වූවන් සහ අර්ධ රාජ්‍ය ආයතනවල නියුතු වූවන් මේවන විට මුහුණ දෙමින් සිටින බරපතළම ගැටලුව නම් තම රැකියාව සම්බන්ධව ඇති අස්ථාවරත්වයයි. කොවිඩ් 19 හමුවේ සේවකයින් මෙන්ම ආයතන හිමිකරුවන් ද එකසේ අතරමංව සිටියි.

පසුගිය සතියේ අප කරුණු ගෙනහැර පෑවේ පෞද්ගලික අංශයේ නියුතු වූවන් වෙනුවෙන් ම වූ සේවය අවසන් කිරීමේ පනත පිළිබඳවයි.

කාර්මික ආරවුල් පනත

 

මෙය පෞද්ගලික අංශයේ හා අර්ධරාජ්‍ය අංශයේ නියුතු වූවන් කෙරෙහි බලපායි.

මීට දශක ගණනාවකට පෙර රැකියාවක් යනු සේවකයා හා සේවා යෝජකයා අතර පෞද්ගලික ගිවිසුමක ප්‍රතිඵලයකි. එහෙත් පසු කලෙකදී සේවකයන්ගේ වෘත්තිමය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් වෘත්තිය සමිති බිහි වීමත් සමඟ සේවක අයිතීන් පිළිබඳ හඬ වඩවඩාත් ප්‍රබල විය. ඒ නිසාම රැකියාවන් සම්බන්ධයෙන් පැවැති ආරවුල් විසඳීම සඳහාම කාර්මික ආරවුල් පනත පිහිටුවීය. කාර්මික ආරවුල් කම්කරු විනිශ්චක සභාවක් කරා ගෙන යෑම මෙ⁣ම පනතේ ඇති විශේෂත්වයයි. කම්කරු විනිශ්චක සභාවේ පිහිට පැතීම රැකියාව සම්බන්ධ අවදානමේ සිටියදී නොව රැකියාව අහිමි වූ පසු කළ හැකි දෙයකි. මෙහිදී සේවය අවසන් කිරීමේ පනත යටතේ කම්කරු කොමසාරිස්ගේ පිහිට පැතීම සහ කාර්මික ආරවුල් පනත යටතේ කම්කරු විනිශ්චක සභාවේ පිහිට පැතීම යන අවස්ථා දෙකම එකම කාරණයක් වෙනුවෙන් යොදාගත හැකි නොවේ. ඒ පනත් දෙකක් නිසායි.

කම්කරු විනිශ්චක සභාවේ පිහිට පැතීමට සේවය අවසන් කිරීමේ පනතේ මෙන් එම ආයතනයේ සේවකයන් 15 කට වඩා සිටීම, දින 180 කට වැඩි කාලයක් සේවයේ නියුතුව සිටීම වැනි කාරණා අදාළ නොවේ. සේවකයාගේ සේවය සුරක්ෂිත කිරීමට (බ්ධඡ ඉඥජභපඪබර) කම්කරු විනිශ්චක සභාව හැමවිටම උත්සාහ කරයි.

සේවකයාට වැඩි වටිනාකමක්

ඉවත් කළ සේවකයින් කම්කරු විනිශ්චක සභාව නැවත සේවයේ පිහිටුවීමට හෝ සාධාරණ වන්දි මුදලක් ලබාදීමට හැකි උපරිම උත්සාහය දරයි.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ගේ නීතීමය රාමුවේ හදවත බඳුව ක්‍රියා කරන්නේ කාර්මික ආරවුල් පනතයි.

කොවිඩ් ඛේදවාචකය හමුවේ

කෙසේවෙතත් කොවිඩ් සම්බන්ධයෙන් වූ මේ තත්ත්වය මුළු ලොවෙහිම කිසිදු කෙනෙක් බලාපොරොත්තු නොවූ ඛේදවාචකයක් වැනියි. කොවිඩ් සඳහා ගොදුරු වූ රටවල් සියල්ලකම පාහේ ආර්ථිකය කඩා වැටී ඇත්තේ සෑහෙන කාලයකට ගොඩ නොඑන පරිද්දෙනි. මේ සියලුම රටවල පෞද්ගලික අංශයේ රැකියාවන් බොහොමයක් ඇස් පනාපිට අහිමි වූයේ නීතීය ද අසරණ කරවමිනි. සේවකයාගේ පැත්තෙන් ගත්තත් සේවාදායකයාගේ පැත්තෙන් ගත්තත් මේ දෙපාර්ශ්වයම නිවැරැදිය. පාඩුපිට පාඩු ලබන සේවාදායකයාගේ පැත්තෙන් ගත්තත් තීන්දු තීරණ ගත යුතු අවස්ථාවකි. එහෙත් ඒ සියල්ල සේවකයාගේ කරමතින් යැවීමට ද නොහැක. නීතීය අසරණ යැයි කීවේ මේ නිසාය.

 

 

උපදෙස්: කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පීඨයේ

ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය

නීතීඥ සර්වේස්වරන් අරුලනාන්තම්

 

2020/06/03 තරුණි පුවත්පත බලන්න.