දරුවන්ට වෙනම ම විදෙස් ගමන් බලපත්‍රයක්

ජනවාරි 27, 2021

විදෙස් ගමන් බලපත්‍රයේ සංශෝධනයක් කරන්න වෙලා ද?

 

 

වෙනදා මෙන් පවුලේ අය සමඟින් විදෙස් රටවල සංචාරය කිරීමට ඇති ඉඩකඩ කෝවිඩ් වසංගතයත් සමඟින් ඇණ හිටලා. එහෙත් නුදුරේදිම එසේ දරුවන් සමඟ යන්නට සිතන ඔබට, උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වන්නට සිතන දරුවන්ට විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්නට සිතුවාද?

අප මෙවර ඒ සඳහා මඟපෙන්වීමක් කරන්නට හිතුවා. කෝවිඩ් සමයේ වුවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සෞඛ්‍යාරක්ෂක නීතිරීතිවලට මුල්තැන දෙමින් අදාළ කටයුතු පවත්වාගෙන යයි.

දරුවන් සඳහා වෙනමම ගමන් බලපත්‍රයක්

මීට වසර කිහිපයකට පෙර අප දුටුවේ දෙමව්පියන්ගේ විදෙස් ගමන් බලපත්‍රයට බාල වයස්කරුවන් ඇතුළත් කර ඇති අන්දමයි. බාලවයස්කරුවන් යනු වයස අවුරුදු 16ට අඩු අයයි. 2015 අගෝස්තු 01 දා සිට දෙමව්පියන්ගේ විදෙස් ගමන් බලපත්‍රයට දරුවන් ඇතුළත් නොකරයි.

විදෙස් ගමන් බලපත්‍රය සඳහා බාලවයස්කරුවන් අයැදුම් කිරීම

මෙහිදී බාලවයස්කරු තමන්ගේ මාපියන් හෝ නීත්‍යානුකූල භාරකරුවන් සමඟ පැමිණිය යුතුය. මාපියන්ගේ, නීත්‍යානුකුල භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක් අයැදුම්පතෙහි ඇමිණිය යුතුය. මවගේ කැමැත්තට පමණක් හෝ පියාගේ කැමැත්තට පමණක් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට විදෙස් ගමන් බලපත්‍රය සෑදීමට අවසර නැත. මව, පියා වෙන්ව සිටියදී දරුවන් මේ දෙදෙනාගෙන් එක් අයෙකුගේ තනි කැමැත්තට විදෙස්ගතවීම සහ අනෙකාට ඒ පිළිබඳ සැඟවිම යන කාරණා නිසා මෙම නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ වී තිබේ.

දරුවන්ගේ පෙනුම වසර කිහිපයකින් වෙනස්වන නිසා වයස් කාණ්ඩ දෙකක් යටතේ විදෙස් ගමන් බලපත්‍ර සැකසීම සිදුවේ. ඒ වලංගු කාලය අවුරුදු 3 සඳහා හා අවුරුදු 10 සඳහා වශයෙනි.

ගමන් බලපත්‍ර ගාස්තු

සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව

වලංගු කාලය අවුරුදු 3 සඳහා

සාමාන්‍ය පදනමින් රුපියල් 2500

එක්දින පදනමින් රුපියල් 7500

වලංගු කාලය අවුරුදු 10 සඳහා

සාමාන්‍ය පදනමින් රුපියල් 3500

එක්දින පදනමින් රුපියල් 15,000

අවශ්‍ය ලිපි ලේඛන

* අයැදුම්කරුගේ උප්පැන්න සහතිකය සහ

ඡායා පිටපතක්

* ඡායාරූපශාලා ලදුපත

* මාපියන්ගේ ජාතික හැඳුනුම්පත්

* දෙමව්පියන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන

ලිපියක්

රුකමට හදාගත් ළමයකු සඳහා විදෙස්  ගමන් බලපත්‍රය

මේ සඳහා ඉහත සඳහන් ලියකියවිලිවලට අමතරව තවත් ලියකියවිලි කිහිපයක් අවශ්‍ය වේ.

* දරුකමට හදාගත් බවට සහතිකයක්

* ඒ සඳහා උසාවි නියමය

* ළමා හිමිකම් හා ළමා ආරක්ෂණ

කොමසාරිස්ගේ ලිපියක්

ඉහත ලේඛන සියල්ලකගේ ම මුල් පිටපත් සමඟ ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.

* දරුවා ශ්‍රී ලංකාවෙන් පිටත ඉපදී ඇත්නම් එක් එක් දරුවා සඳහා කොන්සල් කාර්යාලයෙන් ලබාගත් උප්පැන්න සහතිකය සහ පුරවැසිභාවය ලියාපදිංචි කළ සහතිකය (පුරවැසිභාවය ලියාපදිංචි කිරිමේ දී මුදල් ගෙවා ලබාගත් ලදුපතේ ඡායා පිටපතක් ද භාරගනු ලැබේ.)

* කලත්‍රයා ගමන් බලපත්‍රයක් ලබාගෙන නොමැති නම් ඔහු / ඇය ගේ ජාතික හැඳුනුම්පත.

* කලත්‍රයා මිය ගොස් නම් මරණ සහහතිකය.

* මාපියන් දික්කසාද වී සිටී නම් දික්කසාද සහතිකය සහ දරුවාගේ / දරුවන්ගේ භාරකාරත්වයට ඇති අයිතිය සඳහන් කරමින් දෙන ලද උසාවි නියෝගය.

* දරුවා මාපියන් විසින් අතහැර දැමූවකු නම් පොලිස් වාර්තාවේ සහතික කරන ලද පිටපතක් සහ ප්‍රාදේශිය ලේකම් විසින් අනු අත්සන් කරන ලද ග්‍රාම නිලධාරිගෙන් ලබාගත් සනාථ කරන ලිපිය.

දරුවන් සඳහා විදෙස් ගමන් බලපත්‍ර ලබා ගනිද්දී පොදුවේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගන්නා සේම එක් දින සේවය ඔස්සේ ගන්නේ නම් බත්තරමුල්ලේ, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුවේ. පෙරවරු 8.00 ට පමණ දරුවා මාපියන් හෝ භාරකරු සමඟ පැමිණ අයැදුම්පත පුරවා භාරදිය හැකිවේ.

අයැදුම්පත භාරදී අවමය පැය 4ක් වැනි කාලයක දී විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට පුළුවන.

සාමාන්‍ය පදනම යටතේ ගන්නේ නම් බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට ලබාදීමෙන් සති 3 කට පමණ පසු ලියාපදිංචි තැපෑලෙන් නිවෙසටම විදෙස් ගමන් බලපත්‍රය ලැබේ.

වෙනස්කම් කිරීම

තමන්ගේ විදෙස් ගමන් බලපත්‍රයේ ඇතුළත් දත්ත වෙනස් කිරිමට, එහෙමත් නැත්නම් සංශෝධනය කිරිමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කළ හැකියි. දෙපාර්තමේන්තුව එම ඉල්ලීම පිළිගතහොත් එම සියලු සංශෝධන නිරීක්ෂණ හා වෙනස්කම් පිටුවට ඇතුළත් කරනු ලැබේ.

වෙනස් කිරීම් සඳහා අයැදුම්පත්‍රය

ඒ සඳහා වූ අයැදුම්පත්‍රය බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කාර්යාල, විදේශිය ශ්‍රී ලංකා දුත මණ්ඩල හෝ භාගත කරන ලද ඉල්ලුම්පත්‍රයක් ගෙන අවශ්‍ය ලියකියවිලි සමඟ එම ස්ථානවලටම භාරදිය හැකිවේ.

වෙනස් කිරිම් සඳහා පැය 1 කුත් මිනිත්තු 30 ක් පමණ ගතවේ.එහිදී නම වෙනස්කිරිම සඳහා ගමන් බලපත්‍රය හා අදාළ පරිදි උප්පැන්න සහතිකය හෝ විවාහ සහතිකය අවශ්‍ය වේ. ඒ සඳහා රුපියල් 1000 ක ගාස්තුවක් ගෙවිය යුතුයි.දරුවා ගේ නම ඉවත් කිරීමට ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුවේ.ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු කිරීමට ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුවේ. මේ සියලුම වෙනස්කම් සඳහා එක් අවශ්‍යතාවකට රුපියල් 1000 බැගින් ගාස්තු අය වේ. මුල් පිටපත සමඟ ඡායාපිටපත් ඉදිරිපත් කිරීම ද අත්‍යවශ්‍ය වේ.

 

සටහන

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

 

උපදෙස්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ

නියෝජ්‍ය පාලක හා මාධ්‍ය ප්‍රකාශක

ගයාන් මිලින්ද