සයිබර් අවකාශයේ කොරෝනාවට වඩා දරුණු වයිරස් වැඩියි

ජූලි 14, 2021

 

කොරෝනා වසංගතයත් සමඟම තවත් සමාජ වසංගත රැල්ලක් හිස ඔසවන්නට මාන බැලුවේ බොර දියේ මාළු බාන විලාසයෙනි. ළමා අපයෝජන, ලිංගික හිංසනය හා අපහරණය කිරීම ගැන අසන්නට ලැබෙන්නේ මෙවැනි පසුබිමකය.

කොරෝනා පළමු රැල්ලත් සමඟ මතුවූයේ අන්තර්ජාලය හරහා කුඩා දරුවන් අපයෝජනයට ලක්කිරීමයි. එය ඉතාම හොඳින් නිරීක්ෂණය කළ ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරිය විසින් එවැනි සිද්ධින් හා සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට පසුකර ගනිමින් එම අසභ්‍ය වෙබ් අඩවි අවලංගු කරනු ලැබුවේ පොලිසියේ ද මැදිහත්වීමෙනි.

කොරෝනා දෙවැනි රැල්ල පසුගිය ඔක්තෝබර් මාසයේ හිස ‍ඔසවනවිට මතුවූයේ කුඩා දරුවන් අලෙවි කිරීමයි. මොරටුව ප්‍රදේශයේ පුද්ගලයකු මෙම ජාවාරමේදී නීතියේ රැහැනට හසුවූයේ මෙම කටයුත්ත ඉතාම සූක්ෂම අයුරින් සිදුකරගෙන ගිය අතරතුරය. එසේම ළමුන්ට නිවෙසට පැමිණ ටියුෂන් ලබාදෙන මුවාවෙන් ළමා අපයෝජනය කරන පුද්ගලයකු ද හසුවිය. තවද ආගමික මධ්‍යස්ථාන තුළ දරුවන් අපයෝජනය කළ පුද්ගලයන් 98 දෙනකු ද හසුවූයේ වසංගතය හමුවේ දරුවන් නිවාස තුළ කොටු වූ ඉතාමත් අසීරු කාල පරිච්ඡේදයකය.

මෙවර තුන්වැනි රැල්ල මතුවන විට නීතියේ රැහැනට හසුවන්නේ අවුරුදු 15ක බාලවයස්කාර දැරිවියක පුද්ගලයන් 35 දෙනකු අපයෝජනය කළ සිදුවීමකි. මෙහි සැබැවින්ම අප රටම කම්පා කළ භයානක සිදුවීමකි. සමාජයට ඉතාම භයානක පණිවුඩයක් හා රතු එළියක් දල්වන මේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් හට ලබා දෙන දඬුවම හා එවැනි සිද්ධීන් සඳහා අනුබලදෙන පුද්ගලයන්ට හිමිවන දඬුවම පිළිබඳ අප විමසීමක් කළේ ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගෙනි. තරුණී පුවත්පත සමඟ නිරන්තර සුහදත්වයෙන් කටයුතු කරන ඔහු මේ සිදුවීම පිළිබද සඳහන් කළේ ඉතාම කාලීන වූ තොරතුරු රැසක් හෙළි කරමිනි.

"මෙවැනි සිදුවීමක් අපේ රටේ වාර්තා වූ පළමු අවස්ථාව නිසා එය ඉතාම භයානක විශේෂිත සිද්ධියක් බවට පත්වෙනවා. තරාතිරම නොබලා මේ සිදුවීමට සම්බන්ධ සියලුම පුද්ගලයන්ව නීතියේ රැහැනට හසුකර ගැනීමට අප කටයුතු කළේ නැවත වරක් මෙවැනි සිදුවීමක් සිදු නොවන්නට වගබලා ගැනීමේ විශාල වගකීමක් අපට ඇති නිසයි. එසේම අපේ රටේ පවතින ආගමික හා සංස්කෘතික බැඳීම ඉතාම ප්‍රබලයි. පිලිපීනයේ වැනි රටවල ඇති දුප්පත්කම නිසා ගැහැනු දරුවන් සිටින අම්මලා සමාජ ජාල හරහා තම දුව ලිංගික ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස අලෙවි කරනවා. මෙය අන්තර් ජාතිකව සිදුවන කටයුත්තක් බවට පත්වී තිබෙනවා.

මේ සිදුවීම අපේ රටේ දකිනකොට අපට විශාල බියක් දැණුනා. මේ සිද්ධිය තවත් කෙනෙක් අනුකරණය කිරීමට පෙළඹෙන්න අවස්ථාව තිබෙනවා. ඇත්තටම මෙය මත්කුඩු ජාවාරමටත් වඩා එහා ගිය සමාජ පරිහානියක් බවට පත්වෙන්න පුළුවන්.

මෙවැනි දෙයක් සඳහා යොමුවෙන්නේ තමුන්ගේ දුප්පත්කම නිසා වෙන්න පුළුවන්. නමුත් අපේ සාරධර්මවලට සම්පූර්ණයෙන් පටහැනියි. කිසියම් ස්ත්‍රියක් මෙවැනි ලිංගික කටයුතු සඳහා යොදවන පුද්ගලයා අපේ සමාජයේ සලකන්නේ ඉතාම පහත්, පෞරුෂත්වයක් නැති පුද්ගලයකු ලෙසයි.

අපේ රටේ පවතින සාරධර්ම හර පද්ධතිය අනුව මෙවැනි ලිංගික අපයෝජනයක් සදහා ඇති නීති ඉතාම තදයි. ලිංගික කටයුතු සැපයීම නැතිනම් Providing කියන කටයුත්ත සඳහා යෙදවීමත් සිර දඬුවම් හිමිවන වරදක්. එවැනි කටයුත්තක් සඳහා ළමයින් විකිණීම දණ්ඩ නීති සංග්‍රහයේ 361 වැනි වගන්තියට අනුව අවුරුදු 2 සිට 20 දක්වා සිර දඬුවම් හිමිවන වරදක්. එසේම අසභ්‍ය වීඩියෝ දර්ශන, ඡායාරූප නිපදවීම හා ළඟ තබාගැනීම බරපතල සිර දඬුවම් හිමිවන වරදක් බවට සඳහන්.

මේ නිසා මම ආරාධනා කරනවා අසභ්‍ය, අශීල සියලු දේවල් ළඟ තබාගෙන සිටිනවා නම් වහාම ඉවත්කරන්න. නැත්නම් ළමා රක්ෂණ අධිකාරියත්, පොලීසියත් විශේෂ තාක්ෂණ ආරක්ෂක ක්‍රම මඟින් මෙවැනි පුද්ගලයන් සොයා ගැනීමේ තාක්ෂණික ක්‍රම දැන් තිබෙනවා.

අප දැන් අමාත්‍යංශය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව අන්තර්ජාතික වශයෙන් සයිබර් අවකාශයේ සිදුවන ලිංගික ජාවාරම් පිළිබඳ වැටලීමේ විශේෂ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒ අනුව International Maritime Organization හරහා අපේ රටේ මෙවැනි ක්‍රියා සිදුවනවා නම් එය වහාම අපට දැනුම්දීමේ ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. එවිට කිසිම ආකාරයකින් මෙවැනි ලිංගික ජාවාරම් සිදුකිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබට මෙවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයකු හෝ කණ්ඩායමක් ගැන දැන ගැනීමට ලැබුණොත් අප වෙත දන්වන්න. නැතිනම් පොලීසියට දැනුම් දෙන්න. ඔබගේ රහස්‍යභාවය ආරක්ෂාකර ගනිමින් අප ඒ පුද්ගලයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට කටයුතු කරන බවට සහතික වෙනවා."

 

ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය

මුදිත විදානපතිරණ

 

*******************

කැමැත්ත හෝ අකැමැත්ත මත ලිංගික කටයුතු සඳහා යොදා ගැනීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

අජිත් රෝහණ මහතා

 

මෙලෙසින් මේ සිදුවීම පිළිබඳ සඳහන් කරන අතරම මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ. ඒ පිළිබඳ අප විමසීමක් කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙනි.

"15 හැවිරිදි මේ දැරිවිය අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සම්බන්ධව ප්‍රථම විමර්ශන කටයුතු ආරම්භ කළේ ගල්කිස්ස පොලිසිය විසින් ජුනි 07 දිනයි. ඇයව ලිංගිකව භෞතික වශයෙන් අලෙවි කිරීමට අමතරව වීඩියෝ දර්ශන මඟින් යම් යම් පුද්ගලයන්ට අලෙවි කර තිබුණා. මේ සිද්ධියට සම්බන්ධ මඩපාත ප්‍රදේශයේ තවත් කාන්තාවක් කැලණිය ප්‍රදේශයට රැගෙන ගොස් අවස්ථා කිහිපයකදී මුදලට විකුණා තිබුණේ කුට්ටනය කිරීමේ නීති විරෝධී ක්‍රියාවට වැරැදිකාරිය වෙමින්. මේ සිද්ධියට සම්බන්ධ මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙහි සියලු තොරතුරු අනාවරණය කිරීමට හැකියාව ලැබුණා. මේ දැරිවිය මාස තුනක කාලයක් දිනපතා විවිධ පුද්ගලයන්ට අලෙවි කර තිබුණේ රුපියල් දස දහසක් පමණ මුදලකට.

 

දැරිවිය එම පුද්ගලයන්ට අලෙවි කිරීමට සම්බන්ධ දැරිවියගේ මවගෙන් ප්‍රශ්න කිරීමෙන් ඉදිරි ක්‍රියා මාර්ගගැනීමට පොලිසිය හා ළමා අාරක්ෂක අධිකාරිය මඟින් පියවර ගත්තා. මෙලෙසින් බාලවයස්කාර දැරිවියක් ඇගේ කැමැත්ත හෝ අකැමැත්ත මත ලිංගික කටයුතු සඳහා යොදා ගැනීම අවුරුදු 20ක බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්."

මෙලෙසින් වෙබ් අඩවියක දැරිවිය අලෙවි කිරීමේදී 29 වැනි පුද්ගලයා ලෙස මිලදී ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ මාලදිවයිනේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකි. තවද ඇය අලෙවි කළ වෙබ් අඩවි 5ක තොරතුරු විමර්ශනය කරන අතර කොළඹට ආසන්න රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු ද අත්අඩංගුවට පත්වී තිබේ. මෙම වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වන විට තවත් සැකකරුවන් 34 දෙනකු ද අත්අඩංගුවට පත් වූ බව පොලිස් විමර්ශන වාර්තා මඟින් අනාවරණය කරගෙන තිබේ.

මේ සිද්ධිය සම්බන්ධ තවත් තොරතුරු තවමත් අනාවරණය වෙමින් පවතින අතර සියලුදෙනාටම බරපතල දඬුවම් විඳීමට සිදුවනු ඇත. නීතියේ දඬුවම කුමක් වුවත් මෙවන් දෙයක් නැවත අප රටේ සිදුනොවීමට වගබලා ගැනීම අප සැමගේ වගකීමකි. විශේෂයෙන් මවුවරුන් තමව දියණියන් පමණක් නොව පිරිමි දරුවන් පවා ආරක්ෂා කළ යුතු කාලයකි. කොරෝනා වසංගතය නිසා නිවාස තුළ කොටු වී සිටින විවිධ මානසික හා ලිංගික පීඩනයෙන් අසහනයෙන් පෙළෙන පුද්ගලයන් ඔවුන්ගේ ගොදුරු බවට අහිංසක දරුවන් පත්කරගන්නට ඉඩ බෙහෙවින්ම වැඩිය. ඒ නිසාම සෑම විටම තම දරුවන් පරිගණකයේ හෝ දුරකථනයේ පාඩම් කටයුතු කරන විට අවධියෙන් හා අවධානයෙන් සිටින්න. ඔවුන් අන්තර්ජාලයේ සමාජ මාධ්‍යජාල භාවිතයෙන් ඈත් කරන්න. සැමවිටම දරුවාගේ කටයුතු පිළිබඳ නිරීක්ෂණය කරන්න. ඔවුන්ගේ පරිගණකය දිනපතා පරීක්ෂා කරන බලා සුහදව ඔවුන් ඉදිරියේ ඇති අවධානම අවබෝධකර දෙන්න. මේ වැනි සිද්ධි නිසා විඳින්න සිදුවන දඬුවම් හා සමාජ අපකීර්තිය ගැන අවබෝධයක් දරුවාට ලබා දෙන්න. එය ඔබ මෙවැනි කාලයක දරුවාට ලබාදෙන හොඳම පාඩමයි.