සිත කය පිරිසුදුව ඔසුකුටියට පිවිසෙන්න...

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාගෙන්
ජනවාරි 6, 2021

දකුණු ලකේ අගනගරයේ උපන් ඔහු තම උපන් රටේ පමණක් නොව, ලොව රසවතුන් අතර තම නම රඳවන්නට සමත් විය. රැකියාවක් සොයා කොළඹට පැමිණ ගල්කිස්ස මහ හෝටලයේ සුළු සේවකයෙක් ලෙස රැකියාව අරඹා අවංකත්වය, උනන්දුව, උත්සාහය නිසා ම එහි අධ්‍යක්ෂ මණ්ඩලය දක්වා පැමිණියේ ය.

එපමණක් නොව, ඔහු සූපවේදියකු ලෙස සිටිය දී ඔහුගේ අතින් රස ගැන්වූ ආහාරයක රස විඳින්නට අකැමැති අයෙක් නොමැති තරම් ය. දේශීය ආහාරයට නව පණක් දී ලොව පුරා දේශීය ආහාර ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූ ඔහු දේශීය ආහාර කලාවට සිදු කළ සේවය වෙනුවෙන් පබ්ලිස් සිල්වා මහතා ආචාර්ය පබ්ලිස් සිල්වා ලෙසින් ගරු බුහුමනට ලක් විය.

දේශීය ආහාරයේ ඇති වටිනාකම අපේ අයගෙන් ගිලිහී යන මොහොතක නැවතත් දේශීය ආහාරයේ වටිනාකම ඉහළ නැංවීමට ක්‍රියා කළ ආචාර්ය පබ්ලිස් මහතා එතෙකින් නොනැවතී අප්‍රසිද්ධව පැවැති දේශීය ආහාර ප්‍රචලිත කිරීමටත්, භාවිතයෙන් ගිලිහෙමින් පැවැති දේශීය ආහාර වට්ටෝරු නැවත භාවිතයට යොදා ගැනීමටත් කටයුතු කළේ ය.

එමෙන්ම දේශීය රස කාරක ඉවුම් පිහුම් සඳහා අප යොදා ගත්තද ඒ පිළිබඳ නිසි ක්‍රමවේදයක් හෝ ඒවා කොපමණ ප්‍රමාණයක් තිබේද යන්න පිළිබඳ සමාජය දැනුවත් කිරීමේ මෙහෙවර ද පබ්ලිස් මහතා විසින් සිදු කළ මෙහෙයන් අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

තමා විසින් ඉතා කැමැත්තෙන් පිළියෙළ කරන ලද ආහාර අනෙක් පිරිස රස විඳින ආකාරය බලා සතුටු වීමට හැම කෙනෙකුට ම නොහැකි ය. එහෙත් අප විසින් සිදු කළ යුත්තේ ද එයමය. පබ්ලිස් මහතා ආහාර ඖෂධ කරගන්නේ කෙසේදැයි අපට පවසයි. ආහාරය යනු ජීවීන්ගේ ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය මූලික සාධකයකි. එය විසෙන් තොර රසෙන්, ගුණෙන් පිරි දෙයක් කිරීමේ කලාව සූපවේදයයි.

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වා මහතාගෙන් අපේ තරුණී පාඨකයන්ට ලබා ගත හැකි දැනුම ද සුළුපටු නොවේ. එම දැනුම අද සිට සතිපතා ඔබට ගෙන ඒමට අපි අදහස් කළෙමු. කාර්යබහුල ජීවිත ගෙවන ඔබට අමතකව ගිය, මඟ හැරුණු මුළුතැන්ගෙයට මෙන්ම ජීවිතයට ද වැදගත් කරුණු අපි හෙළයේ මහා සූපවේදියාගෙන් අසා දැන ගනිමු.

"බෝ නොවන රෝග අද වන විට සමාජයට විශාල ගැටලුවක් වෙලා. මේවාට නිට්ටාවට සුව වන බෙහෙත් සැකසීමට ද බහුජාතික සමාගම් කැමැත්තක් දක්වන්නේ නෑ. ඔවුන් ඒ සඳහා ඖෂධ සකසන්නේ රෝගය පාලනය කිරීම සඳහා පමණයි. ඒ නිසා ජීවිත කාලය පුරාම එම බෙහෙත් ගැනීමට සිදු වෙනවා. මම හිතන්නේ අපිට මේ සඳහා තියෙන එකම හා හොඳම බෙහෙත තමයි අපිට උරුම වූ අපේ ආහාර රටාව. අපේ මහ පොළොවේ වැවෙන ගස්වල මල්, කොළ, පොතු, මුල්, ගෙඩි ආදියෙන් තමයි අපේ ආහාර රසවත් වෙන්නේ. ඒවා තමයි අපි දේශීය රස කාරක ලෙසින් භාවිත කරන්නේ..

ආහාර සැකසීමත් කලාවක්. කලාවේ ආරම්භය ඇති වෙන්නේත් ආහාරවලින් බව මට ඔප්පු කළ හැකියි.

ඒත් අද වන විට කනගාටුවට කරුණක් වෙන්නේ අපේ දරුවෝ අපේ ආහාර රටාවෙන් පමණක් නෙවෙයි, අපේ ආහාර රසවිඳීමෙනුත් තරමක් දුරට දුරස් වෙලා. ඒත් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ගණකාධකාරීවරයෙක්, නීතිඥයෙක් ආදී මොන යම් වෘත්තියක යෙදුණත් මේ හැම දේකට ම කලින් ආහාර කලාව ගැන දැනුමක් තිබිය යුතුමයි. එය වරද්දා ගත් අය තමයි අද බොහොමයක් බෝ නොවන රෝගවලට ගොදුරු වෙලා තියෙන්නේ..

සූප කියන්නේ ආහාර, වේදය කියන්නේ විද්‍යාව, මේ නිසා ආහාර පිළිබඳ විශේෂඥයකුට සූපවේදියා යැයි කිව හැකියි. වෛද්‍යවරුන්ට සූවේදීන්ගෙන් මනා සහයක් ලබා ගත හැකියි. සූපවේදියා කියන්නේ හෝටල්වල ඉවුම් පිහුම් කටයුතු කරන අය පමණක් නෙවෙයි. නිවෙසක ඉවුම් පිහුම් කටයුතුවල යෙදෙන මව, බිරිය, සහෝදරිය, දියණිය, පියා ආදී ඕනෑම අයෙක් සූපවේදියෙක් ලෙස හැඳින්වීමට පුළුවන්.

අද ලංකාවේ බොහෝ මව්පියන් තම දරුවන්ට පොත පතේ දේ ඉගැන්වීමට ම උත්සාහ දරනවා විනා මවගේ ප්‍රායෝගික දැනුම ලබා දීමට උත්සාහ දරන්නේ නැහැ. මොකද අම්මා හා තාත්තා වෛද්‍ය, නීතිවේදී, ඉංජිනේරු යන ඔටුනු තුනක් පැළඳගෙන ඉන්නවා. මේ තුනෙන් එකක් දාගත්තොත් තමයි මගේ දරුවා හරි යැයි සිතයි. නමුත් සූපවේදියාගේ පිහිට මේ හැම අයකුට ම වැදගත් බව මඳකට හෝ නොසිතයි.

එමනිසා මවගේ දැනුම ඔසුකුටියේ අත්දැකීම් දරුවන්ට ලබා දිය යුතුයි. ඔසුකුටිය යැයි පවසන්නේ නිවෙසේ අයට ආහාර, ඔසු සකසන කුටියයි. මෙයට මුළුතැන්ගෙය කියනවාට වඩා ඔසුකුටිය ලෙසින් හැඳින්වීම නිවැරැදි යැයි මා හිතනවා. මන්ද මෙය නිවෙසේ ඖෂධ තිබෙන ස්ථානයයි. රසකාරක කියන ඖෂධ හතළිස් දෙකම තියෙන්නේ මේ ඔසුකුටියේ..

මේ ඔසුකුටිය සැකසිය යුත්තේ වාතය හොඳින් සැරිසැරීමට හැකි වන ලෙස ජනෙල් වාකවුළු ඇතිවයි. ඒ වගේම සූර්ය කිරණ වැටීමත් වැදගත්. ඉන් විසබීජ නැසීමක් සිදු වෙනවා. ඒ වැදගත් ස්ථානය තමයි අපේ ඔසුකුටිය.

අපි පන්සල, පල්ලිය, කෝවිල, දේවාලෙට යන්නේ බොහෝම පිරිසුදුවයි. අපි ඔසුකුටියට යා යුත්තේද එපරිද්දෙන් ම පිරිසුදුවයි. මෙය කායික පිරිසුදුකම පමණක් නෙවෙයි, මානසික පිරිසුදුකමත් තිබිය යුතුයි. නිරවුල්, පැහැදිලි මානසිකත්වයකින් යුතුවයි අපි ආහාර සැකසිය යුත්තේ. එසේ වූ විට තමයි ආහාරවල රසය, ගුණය ඇතිවන ලෙස ආහාර සැකසිය හැකි වන්නේ..

තේ එකක්, සම්බෝලයක් සැකසීමට හෝ බතක් කූරු ගෑම වැනි දෙයක් සිදු කළද ඒ වෙලාවේදී අද බොහෝ දෙනෙක් එම කාර්යය සිදු කරන්නේ සිතේ වෙනත් දේවල්, හෙට කිරීමට ඇති කාර්යයන් ගැන සිතීම, පාසල් ගිය දරුවා එන වේලාව ගැන සිතීම වැනි වෙනත් දේ ගැන සිතමිනි. මෙවැනි දේ සිතමින් බත කූරු ගානවායැයි අපි සිතුවොත් එය නිසියාකාරව සිදු වෙන්නේ නෑ. බත ඇට්ටකුණා වීමට හෝ බත බෙරි වීමට, පැත්තක් අමු වීමට ඉඩ තියෙන්නේ එය සිහියෙන් නොකරන නිසයි.

මේ ගැන අපි තව දුරටත් කරුණු ලබන සතියේ දී කතාබහ කරමු. ඒ වෙනුවෙන් ඔබට ඇතිවන ගැටලු ද ඔහුගෙන් අසා දැන ගැනීමට හැකියාව ඇත. ඒ වෙනුවෙන් අප ඔබට සහාය දක්වන්නෙමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.