මැංගෝ මූස්

ඔක්තෝබර් 9, 2019

ගැබිනි මවුවරුන්ට ගුණදායක පලතුරක් ලෙස අඹ හැඳින්විය හැකියි. මෙය ආහාර ජීර්ණයට උදව් වේ. හදවත් රෝගීන්ට ගුණදායකය. අස්ථි ශක්තිමත් කරන අතර විටමින් ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ෆෝලේට් අඩංගුය.

එමෙන්ම එක අඹ ගෙඩියකින් කැලරි 200 ක් ගුණයක් ලැබේ. එම නිසා ගැබිනි මවුවරුන්ට අතුරුපසක් ලෙස මැංගෝ මූස් වඩාත් ගුණදායකයි. මෙම මැංගෝ මූස් එක 15 දෙනකුට ප්‍රමාණවත්ය.

අවශ්‍ය ද්‍රව්‍ය


බිත්තර 12 ක්
ෆ්‍රෙෂ් ක්‍රීම් ලීටර් 1 1/2 ක්
මැංගෝ ජූස් ලීටර් 1 1/2 ක්
සීනි ග්‍රෑම් 450 ක්
ජෙලටින් ග්‍රෑම් 60 ක්
උණුවතුර මිලිලීටර් 100 ක්

සාදන ක්‍රමය

පළමුව බිත්තරවලට සීනි එකතුකර විනාඩි 20 ක් පමණ බීට් කරගන්න. එහිදී ඔබ යොදාගන්නා භාජනය මත ජලය නොතිබිය යුතුය. දැන් මෙම මිශ්‍රණයට මැංගො ජුස්වලින් මිලිලීටර් 750 ක් දමා කලවම්කර එය පසෙකින් තබන්න. ඉන්පසු ෆ්‍රේෂ් ක්‍රීම් බඳුනකට දමා බීට් කරන්න. මෙය විනාඩි 2 - 3 ක් පමණ බීට් කරගත යුතුයි. එවිට ක්‍රීම් එකක් ආකාරයට සෑදේ. මෙයට ඉතිරි මැංගො ජූස් දමා කලවම්කර එයද පසෙකින් තබන්න.

දැන් ජෙලටින්වලට උණුවතුර දමා හොඳින් මිශ්‍ර කරගන්න. එය කලවම් කිරීමේදී තවත් උණුවතුර සහිත භාජනයක් මත තබා කලවම් කළ යුතුය. එය ඩබල් බොයිල් කිරීම ලෙස හඳුන්වයි. පසුව බිත්තර දමා සාදාගත් මිශ්‍රණයත් ෆ්‍රෙෂ් ක්‍රීම් මිශ්‍රණයත් එකට කලවම්කර ජෙලටින් මිශ්‍රණයට එකතුකරන්න. දැන් මෙය බෝල් එකකට හෝ තැටියකට දමා ශීතකරණයේ පැයක් පමණ තබන්න. පසුව ආහාරයට ගත හැකියි.