සෞභාග්‍යයේ නව වසර සමරන්නට විවිධත්වයෙන් යුතු කිරිබත්

ජනවාරි 1, 2020

2020 තවත් සුවිශේෂී දශකයක ආරම්භයයි. බොහෝ යහපත් දේ සිදුවිය හැකි, බලාපොරොත්තු සහගත නව වසරකි. ලක්වැසි, ලෝවැසි මෙන්ම තරුණී පාඨක ඔබටත් අපටත් මෙය සුවිශේෂීයි.

සෑම ක්ෂේත්‍රයකම පිබිදීමක් ඇතිවන සෞභාග්‍යයේ දශකයක්. සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවායි දසත විසිරී සිටින ලක්වැසි, ලෝවැසි සැමටම තරුණී අප හදවතින්ම සුබ පතන්නෙමු.

2020, වාසනාවේ, සෞභාග්‍යයේ නව දශකයක උදාවේ සුබ නිමිත්තක් ලෙසින් මුල්ම ‘රසාර’ අතිරේකයෙන් අප ඔබ වෙත පිරිනමන්නේ විවිධ අයුරින් සකසා ගත හැකි ‘කිරිබත්’ අඩංගු කෑම වට්ටෝරු කිහිපයක්.

මේවා අතුරින් ඔබ කැමැති ආකාරයේ කිරිබත් වර්ගයක් සාදා ආදරණීය නිවැසියන්, ඥාතීන්, අසල්වාසීන් සමඟ නව වසරේ උදාව සමරන්නත් පුළුවන්.

ඒ වගේම ඔබගේ රැකියා ස්ථානයට ගෙනයන්නත් සුදුසුයි.

සාමාන්‍ය කිරිබත්වලට වඩා විශේෂ ද්‍රව්‍ය එක්කර සාදන කිරිබත්වලට අපේ පොඩිත්තන් නම් හරිම කැමැතියි.

ඔබ දන්නවා කිරිබත් හදන්න ප්‍රධාන වශයෙන් යොදාගන්නේ සහල්. එම සහල් නිපදවෙන්නේ ගොයමින්. නීල ගොයම කියන්නේ සෞභාග්‍යයේ සංකේතය. ඉතින් මේ නව දශකයේ උදාවට ඒ සෞභාග්‍යයේ සංකේතය ඔබ නිවෙසේ කෑම මේසය මතට ගෙන එන්නත් ඔබට පුළුවන්. මල්, එළවළු, පලතුරුවලින් කෑම මේසය සරසන එක සාමාන්‍ය දෙයක්.

නව වසරට වෙනස්ම සැරසිල්ලක් කරන්නත් අපට පුළුවන්. ඒ සඳහා තෙත ගෝනි කැබැල්ලක පැළ කරගත් සති එකහමාරක, දෙකක පැළ වී ටිකක් අවශ්‍යයි.

වී පැළ සහිත ගෝනි කැබැල්ල ලස්සන බඳුනක තබා කෑම මේසයේ පසෙකින් තියන්න පුළුවන් නම් කෑම මේසයට ලස්සනක් වගේම සිරියාවක් ගෙනදේවි.

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී, කේක් නිර්මාණ ශිල්පිනී

සර්වදර්ශනී අප්සරා

 

***************

සිංහල කිරිබත්

හෙළ බස කතා කරන, හෙළ ජාතියක් සිටින එකම රට මේ හෙළ දිවයිනයි. වර්තමානය වනවිට ජාතීන් කිහිපයක්ම මෙහි වාසය කළ ද තවමත් තුන් වේලටම බත් කෑම එදා සිටම පැවැත එන පුරුද්දකි.

සහලින් ස්වයංපෝෂිත මේ හෙළ දිවයිනෙහි සෑම සුබ මොහොතක්ම ආරම්භ කරනු ලබන්නේ ‘කිරි බත්’ අනුභවයෙනි. එය අප මුතුන් මිත්තන්ගේ පටන්ම පැවැත එන සුබදායී කටයුත්තකි.

සිංහල කිරිබත ලෙසින් හැඳින්වූ සාම්ප්‍රදායික කිරිබත මේ වනවිට නොයෙක් පරිවර්තනයන්ට ලක්වෙමින් පවතී. විවිධ රසයෙන්, විවිධ පැහැයෙන් නොයෙක් නොයෙක් ද්‍රව්‍ය එක්කරමින් විවිධත්වයෙන් යුතුව පිළියෙල කරන්නට සූපවේදී ක්ෂේත්‍රය දැන් දැන් උත්සුක වී ඇත. මුං කිරිබත්, ඉඹුල් කිරිබත්, මාබල් කිරිබත් මෙන්ම එක්කරන ද්‍රව්‍යන් අනුව ද කිරිබත් හඳුන්වන්නට පටන් ගෙන තිබීම විශේෂත්වයකි.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු හෝ රතු කැකුළු සහල්

කිලෝ 1 ක්

මිටි කිරි අඬු කෝප්ප 6 ක්

අවශ්‍ය පදමට ලුණු

අවශ්‍ය තරමට වතුර

සාදන ක්‍රමය

සහල් හොඳින් සෝදාගන්න. එයට අවශ්‍ය තරමට (සාමාන්‍යයෙන් අතේ මැද ඇඟිල්ලේ 2 වැනි පුරුක ළඟට එනතුරු) වතුර තියන්න. අවශ්‍ය පදමට ලුණු ද එයටම එකතුකර බත හොඳින් පිසගන්න. හොඳින් බත පිසී අවසන් වූ පසු එයටම කිරි ටික දමා හොඳින් කලවම් කරන්න. පිසුණු බතට හොඳින් කිරි අල්ලා ගත් පසු බන්දේසියකට දමා තුනීකර නිවෙන්නට හරින්න. නිවුණු පසු කිරිබත් හැඩයට කපා සුදුසු බඳුනක තබා කෑම මේසයට තබා පිළිගන්වන්න.

 

2020/01/01 තරුණි බලන්න