මල් මංගල්ලෙට කේක් නිර්මාණ

ජුනි 17, 2020

තම මංගල දිනය සෑම අයුරකින්ම ලස්සනට කරගන්නයි කාගේත් උනන්දුව. අපි දන්නවා මංගලදිනය ගැන සුබ සිහින දකින ඔබත් ඒ වගේමයි. එහිදී අනෙක් චාරිත්‍ර වලට වගේම තම සිතැඟි ආකාරයට කේක් නිර්මාණයක් සකසා ගන්නත් ඔබ උත්සාහ කරනවා.

ඉතිං එවැනි ඔබ වෙනුවෙනුයි මෙවර තරුණී 'රසාර' අතිරේකය වෙන්වන්නේ. ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියක් වන ඔරෙන්සි සිරිවර්ධන මහත්මිය ඉදිරිපත් කරන මේ කේක් නිර්මාණ පෙළ අතර ඔබේ සිත රැඳුණු කේක් නිර්මාණයක් තිබේදැයි බලන්න දැන් ඔබට අවස්ථාව තිබෙනවා. විවාහ ගිවිස ගැනීමකට, විවාහ උත්සවයකට වගේම දෙවැනි දිනයටත් ගැළපෙන ආකාරයට නිර්මාණය කරතිබෙන මේ කේක් නිර්මාණ ඔබේ ඒ සුවිශේෂී දිනය හැඩකරන්නත් හරිම අපූරුයි නේද?

 

උපදෙස් හා කේක් නිර්මාණ

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ඔරෙන්සි සිරිවර්ධන

------------------

ඕකිඩ් මලින් හැඩ වී

දම් සහ සුදු වර්ණ ෆොන්ඩන්ට් යොදාගනිමින් සැකසූ මේ කේක් නිර්මාණය විවාහ ගිවිස ගැනීමකට නම් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

ඔබට කැමති කේක් වර්ගයකින් සාදාගත් කිලෝ තුනක රවුම් කේක් එකක් සහ කිලෝ දෙකක රවුම් කේක් එකක්

බටර් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

රෝයල් අයිසිං

පාච්මන්ට් අයිසිං

බේස් බෝඩ් එකක්

 

සාදන ක්‍රමය

පළමුව බෙස් බෝඩ් එක ගෙන එය සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න. දැන් කිලෝ තුනක ප්‍රමාණයට සකස් කරගත් කේක් එක ගෙන එය දෙකට කපා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න.

ඉන්පසු සම්පුර්ණ කේක් එක බටර් අයිසිංවලින් කවර්කර නැවත දම් පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න.

දැන් අනෙක් කේක් එක ගෙන එය ද දෙකට මැදින් කපා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරන්න.

පසුව එය බටර් අයිසිංවලින් කවර්කර නැවත සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර්කරන්න.

දැන් මේ කේක් දෙකම බෙස්බෝඩ් එක මත තබාගන්න. සුදු කේක් එකෙහි යටින් පබළු වැලක ආකාරයට සුදු ෆොන්ඩන්ට් බෝල සාදා තබාගන්න.

දම් කේක් එක යටින් දම් ෆොන්ඩන්ට් බෝල තබාගන්න. කේක් දෙක අතරට රෝයල් අයිසිංවලින් දම් සහ සුදු ඩොට් තබන්න. මෙම කේක් එකෙහි උඩ සරසාගෙන ඇත්තේ ඕකිඩ් සහ රෝස මල්වලිනි.

ඒ අතරට මෙහි ස්වාභාවික බව පෙන්වීමට ෆොන්ඩන්ට් අයිසිංවලින් වර්ණ කරගත් ගෙඩි, කොළ සහ ඉති ගසා ඇත. කේක් එකෙහි යට දෙපසින් ද ඕකිඩ්, රෝස සහ ස්ටාර් මල් සහිත කුඩා පොකුරු දෙකක් සාදා සවිකර ඇත.

2020/06/17 තරුණි පුවත්පත බලන්න.