මාළු කපන, ශුද්ධ කරන හරිම විදිහ

ජූලි 8, 2020


මුහුදු මාළු වර්ග, පොඩි මාළු සහ ලොකු මාළු ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හාල්මැස්සෝ, සාලයා, හුරුල්ලෝ, පරා, ගල් මාළු වැනි මාළු වර්ග පොඩි මාළු ගණයට අයත් වෙනවා. ගැඹුරු තෙලේ බැද ගැනීමට ගන්නේ මෙවැනි පොඩි මාළු වර්ගයි.

තලපත්, බල, කෙවල්ලන්, මෝර සහ තෝර වැනි මාළු වර්ග ලොකු මාළු ගණයට අයත් වෙනවා. ඩෙවල්, ස්ටූ, ඇඹුල් තියල් වැනි ආහාර සකස් කර ගැනීමට බොහෝ විට යොදා ගන්නේ මෙවැනි මාළු වර්ග.

පොඩි මාළුවල කොරපොතු තරමක් වැඩියි. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ මේ කොරපොතු ටික අයින් කර ගන්න එකයි.

දැන් මාළු අළෙවිසැල්වලනම් කොරපොතු අයින් කරන උපකරණ තියෙන නිසා වැඩි දෙනෙක් එතැනින්ම කොරපොතු ශුද්ධ කරගෙන කපාගන්නවා. නමුත් ගෙදරදී නම් පිහියෙන් කොරපොතු ටික අයින් කරගන්න පුළුවන්. මාළුවාගේ දෙපැත්තම කොරපොතුවල ප්‍රතිවිරුද්ධ දිශාවට කොරපොතු පිහියෙන් ඉවත් කර ගන්න. ඉන්පසු මාළුවාගේ ඔළුව ළඟ තියෙන කුඩා වරල් දෙක අසලින් ඍ හැඩැති කැපුමක් දා ගත්විට ඔළුව අයින් කරන්න පුළුවන්. ඒත් එක්කම බඩේ තියෙන අපද්‍රව්‍යත් එළියට අරගෙන අයින් කරන්න. දැන් මේ ශුද්ධ කරපු මාළුවා පෙති පෙති හිටින විදිහට කපාගන්න. මාළු සෝදන විට දෙහි ඇඹුල් ටිකක් දාලා හෝදලා ගත්තම මේ පිළීගඳ යනවා. නැත්තම් ලුණු වතුර දමා ස්වල්ප වෙලාවක් තියන්න. කුඩා මාළු වර්ගයට අයත් ටිකක් ලොකු මාළුවෙක් නම් පොඩි පෙති කපන්නේ නැහැ. එවැනි මාළුවෙක් නම් මාළුවා ශුද්ධ කරලා මැද්දෙන් දෙකට පළාගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි කපාගන්න.

ලොකු මාළු වර්ග කපා ගන්නේ ඊට වඩා වෙනස් ආකාරයකටයි. කෙලවල්ලා, බලයා, තලපත් වැනි ලොකු මාළු වර්ගවලට අයත් පොඩි මාළුවෙක් නම් මුලින් කියපු විදිහට ශුද්ධ කරලා රවුම් පෙති විදිහට කපා ගන්න පුළුවන්. නමුත් ඒ වර්ගවල කිලෝ 30 -40 ප්‍රමාණයේ ලොකු මාළුත් තියෙනවා. එවැනි මාළු නම් මිල දී ගන්නා විට දීම කටු ඉවත්කරලා කෑලි කපලා තමයි දෙන්නේ.
නමුත් කටු අධික කටුවල්ලා කියන කියන මාළු වර්ගය එ අකුරේ හැඩයට තමයි කපා ගන්නේ. ඒ වගේම ඇටවල්ලා මාළුවර්ගය ඍ හැඩයට කපා ගන්න පුළුවන්. මේ විදිහට කපලා ශුද්ධ කරලා ගත්තොත් රසය වගේම හොඳ පෙනුමකුත් තියෙයි.
 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න