අඩු වියදමකින් රසවත් බත් වර්ග

සැප්තැම්බර් 9, 2020

අපේ ප්‍රධාන ආහාරය බත්. මේ වන විට අප එදිනෙදා කෑමට ගන්නා බත පවා විවිධාංගිකරණයට ලක්වෙලා.

එදිනෙදා සාමාන්‍ය බතක් පිළියෙල කළත් විශේෂිත අවස්ථාවලදී මේ බත සුවිශේෂී බතක් වනවාමයි.

නොයෙකුත් අත්හදා බැලීම් කරමින් එක් එක් දෑ එකතු කරමින් රසයෙන් අනූන බතක් පිළියෙල කරමින් ඊට නමක් යොදන්න ඔබටත් පුළුවන්.

දේශීය ක්‍රමයට පිළියෙලවන බත් වර්ග මෙන්ම විදේශීය බත් වර්ග ද රසයෙන් අනූන බත් වර්ග මෙන්ම ඖෂධීය ගුණයට මුල්තැන දුන් බත් වර්ග ද මෙවර තරුණී ‘රසාර’ කෑම වෙතින් ඔබට තිළිණ කරන්නයි අප සිතුවේ.

 

ඉදිරිපත් කිරීම : තිස්සමහාරාම ‘එකෝ සෆාරි’ හි

විධායක සූපවේදී

රුක්ෂාන් ඉද්දමල්ගොඩ

 

නිල් කටරොළු බත

 

නිල් කටරොළු දැන් ආහාර වර්ණකයක් ලෙසින් බෙහෙවින් ම ජනප්‍රිය අංගයක් බවට පත්වෙලා.

බත්, කිරිබත්, ඉඳිආප්ප, ආප්ප, පිට්ටු මේ ආදී කෑම වර්ග පිසිද්දී ඊට අමුතුම අත්‍යලංකාරයක් එක් කරන්නට නිල් කටරොළු මලට පුළුවන්.

මේ සඳහා

අවශ්‍ය වන්නේ

රුචිකත්වය අනුව සුදු සහල් ග්‍රෑම් 250 ක්

(බාස්මති හෝ සුදු හාල් වඩාත් උචිත වේ)

තෙල් මේස හැඳි 1 ක්

අවශ්‍ය පමණට ලුණු

අවශ්‍ය පමණට ජලය

නිල් කටරොළු මල් කිහිපයක්

සාදන අයුරු

මෙම බත ඔබට ක්‍රම දෙකකට සාදාගත හැකියි. නිල් කටරොළු මල් තම්බා පෙරා වතුර ගෙන ඉන් සාමාන්‍ය පරිදි බත සාදාගත හැකියි. නැතිනම් සාමාන්‍ය බත පිසගන්නා අන්දමින් කටරොළු පෙති ද බත් එකට එක්කර සාදාගත හැකිය. ආයුර්වේදයට අනුව මෙම බත රෝග කිහිපයක්ම සඳහා ඖෂධයක් වනු ඇත. දැන් වෙළෙඳපොළේ කටරොළු තේ හා සිහින්ව අඹරන ලද කටරොළු මල් ද මිලදී ගැනීමට පුළුවනි.

 

 

2020/09/09 තරුණි පුවත්පත බලන්න