විවිධ රසට අයිස් ක්‍රීම්

ඔක්තෝබර් 7, 2020

අයිස් ක්‍රීම් කිව්වම ඉතින් කවුද ආස නැත්තෙ? ලොකු කුඩා අප කවුරුත් ප්‍රිය කරන කෑමක්නේ අයිස් ක්‍රීම් කියන්නෙ. විවිධ රසින් රසගන්වපු අයිස් ක්‍රීම් වර්ග වෙළෙඳපොළේ තියෙනවා. ඒත් ඉතින් ගන්න තියෙන්නෙ සීමිත රස ටිකක් විතරයිනේ. අපිට කැමැති පලතුරු වර්ගවලින් ගෙදරදිම හදන අයිස් ක්‍රීම් එකක රස බලන්න පුළුවන් නම් එය අලුත්ම අත්දැකීමක් වේවී. හැමදාම කන එකම අයිස් ක්‍රීම් එකට වඩා ගෙදර දී හැදුවොත් වඩා රසවත්ව හදා ගන්නත් පුළුවන්. ඒ සඳහා අවස්ථාව මෙලෙස උදාකර දෙනවා.

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

-------------------

මැන්ගෝ අයිස් ක්‍රීම්

 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳට ඉදුණු අඹ

ගෙඩි 3ක්

විපිං ක්‍රීම් මිලි ලීටර් 500ක්

ටින් කිරි පොඩි ටින් 1ක්

කහ පාට කලරිං ස්වල්පයක් (අවශ්‍ය නම්)

වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය

විපිං ක්‍රීම් ටික ශීතකරණයෙන් ගත් විටම ඝන වෙනකල් බීට් කරගන්න. මෙයට ටින් කිරි එක එකතු කරගන්න.

අඹ කෑලිවලට කපා බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ මැන්ගෝ පල්ප් එක විප්ක්‍රීම් මිශ්‍රණයට දාලා ඒකට වැනිලා ටිකක් එකතු කරගන්න. මෙයට කහ පාට කලරිං ස්වල්පයකුත් එකතු කරලා හොඳට බීට් කරගන්න.

අවශ්‍ය නම් අඹ කෑලි ටිකක් වෙනම මෙයට එකතු කරලා කලවම් කරගන්නත් පුළුවන්. එයින් අයිස් ක්‍රීම් රස බලද්දී අඹ රසයත් හොඳීන්ම දැනෙනවා. දැන් මෙය බෝල් එකකට දමා අධි ශීතකරණයේ තබන්න. පැයකින් වගේ එය නැවත එළියට අරන් ආපහු විනාඩි කිහිපයක් බීට් කර අධි ශීතකරණයේ තබන්න. ඒ වගේ දෙතුන් පාරක් බීට් කරලා කෑමට ගන්න.

2020/10/07 තරුණි පුවත්පත බලන්න.