පොඩි බඩගින්නට කෙටි කෑම

ඔක්තෝබර් 14, 2020

 උයන එක කොයිතරම් ආස හිතෙන දෙයක් වුණත් වෙලාවකට උයන එක මහන්සියක් වගේම කම්මැළිකමක් දැනෙන වැඩක්. ඒත් එහෙමයි කියා ගෙදර ඉන්න බඩගිනි හමුදාවට බඩගිනි වුණාම කඩ කෑම කන්න දෙන්නත් හිතට මදිනෙ නේද? එහෙම වෙලාවකට ඉක්මනින්ම හදාගන්න පුළුවන් කෙටි කෑම වට්ටෝරු පෙළක් මෙවර තරුණී රසාර අතිරේකයෙන් ගෙන එන්නට අප කල්පනා කළා. ඔබත් මේ කෑම සාදාා බලන්න, ගෙදර අය මොනතරම් කැමැති වේවි ද කියා.

 උපදෙස් - සූපවේදිනී නිලුෂිකා උදයංගනි මුණසිංහ

kewum kokisdotCom export ( pvt ) Ltd. පන්නිපිටිය

පීටා බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 2ක්

ඊස්ට් තේ හැඳී 1½ක්

සීනි තේ හැඳී 1ක්

ඔලිව් ඔයිල් මේස හැඳී 1ක්

රස අනුව ලුණු

සාදන ක්‍රමය

ඊස්ට්වලට සීනි දමා කලවම් කර මඳ රස්නෙ වතුර මේස හැඳී 2ක් දමා විනාඩි 10-15ක් පිපෙන්නට තියන්න. පාන් පිටිවලට ලුණු තේ හැඳී 1ක් දමා කලවම් කරගන්න. මෙයටම තෙල් ටික දමා ඊස්ට් මිශ්‍රණය ද එකතුකර අනාගන්න.

අතින් හොඳට අනාගෙ​න තෙත මිරිකපු පිරිසුදු රෙදි කෑල්ලකින් පැය ½ක් වසා තියන්න. ඊට පසු ආයෙමත් හොඳට අනා පොඩි බෝල හදා තවත් පැය ½ක් පිපෙන්න තියන්න. ඉන්පසුව මෙම බෝල ගෙන පිටි ඉසගත් ලෑල්ලක තුනී කරගන්න.

තැටියක් ළිප තබා රත්වන විට තුනී කරගත් රොටි එයට දමා පැතලි හැන්දකින් තද කරමින් දෙපැත්ත පුලුස්සා ගන්න.

මෙහෙම හදන පීටා බ්‍රෙඩ් මැදට කැමැති ෆිලිං එකක් (පිරවුමක්) දාගන්න පුළුවන්. චිකන් තෙම්පරාදුවක්, බිත්තර ස්ක්‍රැම්බල් එකක්, අල බැදුමක්, සලාදයක් වගේ ඕනම දෙයක්. හොඳටම නැතුව පීටා බ්‍රෙඩ් එක බාගෙට දෙපැත්ත පුලුස්සා අරන් ෆ්‍රීසර් එකේ සතියක් වුණත් තියාගන්නට හැකියි. අවශ්‍ය වෙලාවට අයිස් ගතිය යන්නට තබා පුලුස්සා ගන්න පුළුවන්.

2020/10/14 තරුණි පුවත්පත බලන්න.