කෑම සැකසීමේදී උපදෙස් පැතූ ඔබටයි මේ විසඳුම්

බලන්න, ඔබේ ගැටලුවත් මෙහි තිබේදැයි කියා
ඔක්තෝබර් 21, 2020

අප හැමදාමත් විවිධ කෑම වර්ග සකසන ආකාරය ඔබට පහදා දෙනවා. ඒ අතර ආහාර පිසින විට ඔබට විවිධ ගැටලු මතුවන බවත් අප දන්නවා. ඒ ඔබ විසින් අපට යොමුකරන විවධ ගැටලු නිසාමයි. එහෙයින් ඔබ අපෙන් විමසූ ගැටලු කිහිපයකට මෙලෙස විසඳුම් ගෙන දෙනවා. මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ ලොව පුරා ශ්‍රී ලාංකේය කාන්තවන් සඳහා රසට, ඉක්මනින් හා පහසුවෙන් ආහාර පිසින්නට කිියා දෙන සූපවේදිනී ජනනී ගුරුසිංහයි.

මේ විදිහට ආහාර සැකසීමේ දී ඔබටත් ගැටලු තිබේ නම් 0112429591 අංකයට අමතා ඔබේ ගැටලුව කියන්න.

 

* මම හදන කේක් නිතරම තද ගතියෙන් යුතුයි. ඒ වගේම පිපීම සමබර වෙන්නේත් නැහැ. කේක් එක මෘදුවට සමබරව සකසා ගන්න උපදෙසක් දෙන්න.

වැලිවිට - අනුරාධා

 

ඔබ කේක් එක ගැසීමේ දී ඕනෙවට වඩා බීට් කර තිබෙනවා. සිනි සහ බිත්තර එකතුකර සීනි දිය වෙනතුරු තියා බිට් කරන්න එපා. ලොකු කැට සීනි නම් කුඩු කර පාවිච්චියට ගන්න. බොහොම සුළු වෙලාවකින් බටර් සහ සීනි බිට් කර අවසන් කරන්න. හොඳින් මේ දෙවර්ගය මිශ්‍ර වුණා නම් ඇති.

බේකිං පවුඩර් හා පිටි දෙසැරයක් හලාගන්න. එමඟින් බේකිං පවුඩර් සමව පිටි හා මිශ්‍ර වෙනවා. එවිට පිපිම සමබර වෙනවා.

අවන් එකේ උෂ්ණත්වය ඕනෙවට වඩා වැඩි වුණ විටත් කේක් එක බේක් වීමේ දී තද ගතියෙන් යුක්තයි.

බිත්තරවලිනුත් පිපිම සමබර වෙන නිසා නියමිත බරටම බිත්තර ගන්න.

මිශ්‍රණය එකතුකිරීමට සුදුසු සයිස් එකේ තැටිම භාවිත කරන්න. මිශ්‍රණයට වඩා පොඩි සයිස් එකෙන් යුතු තැටි භාවිත කිරීමේ දී කේක් එක පිපෙන්නේ නැහැ. බේක් වනවිට තැම්බි තැම්බි කේක් එක ඇතුළට තදවීමක් විතරයි සිදුවෙන්නේ.

නිතරම කාමර උෂ්ණත්වයෙන් යුතු බටර් භාවිත කරන්න. මාගරින් භාවිත කරන්නේ නම් ශීතකරණයෙන් එළියට ගත් සැණින් එකතුකරන්න.

 

* මට ආප්ප ලස්සනට හදාගන්න බැහැ. එයට හේතුව නිතරම ආප්ප හදද්දී තාච්චියේ ඇලීමයි. මෙයට හේතුව කුමක් ද?

බදුල්ල - ගීතානි

 

අලුත් තාච්චියක් නම් ගොරකා ඉති කිහිපයක් හා වතුර එකතුකර තම්බාගන්න. තම්බාගත් වතුර අයින් කර තාච්චිය පිසදා ආප්ප සෑදීමට ගන්න.

ඒ වගේම අබ ටිකක් පුපුරලා ඒ පුපුරපු අබ කිචන් ටවල් එකක් මඟින් තාච්චියේ අතුල්ලන්න. තාච්චිය සෝදන්නේ නැතුව පිසදා ආප්ප සෑදීමට ගන්න.

හොඳින් තෙලෙන් පදම්වුණු තාච්චියක පහසුවෙන්ම ආප්ප සෑදීමේ දී ගලවාගත හැකියි.

 

උපදෙස් ඉතාලියේ පර්මාහි සූපවේදිනී

ජනනී ගුරුසිංහ

 

 

2020/10/20 තරුණි බලන්න.