පරිප්පු වෙනුවට කදිම ආදේශකයක්

බඩඉරිඟු වලින් රස කෑම
ඔක්තෝබර් 21, 2020

දේශීය ආහාර වේලක දී බඩඉරිඟුවලින් සෑදූ කෑමක් තිබෙන්නේ නම් එය අංග සම්පූර්ණ ආහාර වේලක් වෙනවාමයි. විශේෂයෙන් උදේ ආහාරයට ගන්නා පිෂ්ටය බහුල ආහාර අතරට බඩඉරිඟු යොදා සැදූ කෑමක් ද එකතු කරන්න පුළුවන්. මෙය පෝෂණය අතින් ඉතාම ඉහළයි.

ශක්තිජනක ප්‍රමාණය වැඩි නිසා වේල් දෙකක් අතර මනා පරතරයක් තබා ගන්නට බඩඉරිඟුවලට හැකියාව තිබෙනවා.

කෙටි කෑමක් ලෙස යන එන අතරමඟ දී පොප් කොන්වල රස බැලුවත් එය බඩඉරිඟුවලින් සෑදූ කෑමක් යැයි එක්වරම පුංචි දරුවන්ට නො සිතෙන්න පුළුවන්.

බඩඉරිඟු සැබැවින් ම පරිප්පුවලට ආදේශකයක් ලෙස දේශීය වශයෙන් ම ලබා ගත හැකි ආහාරයක්. පසුගිය සමයේ පරිප්පු හිඟයක් ඇති වේ යැයි බොහෝ දෙනා බිය වූවා. ආනයනය කරන පරිප්පුවලට වඩා පරිප්පු ලෝලීන් බඩඉරිඟු ලෝලීන් බවට පත්වෙනවා නම් බඩඉරිඟු ගොවියාත් සැනසේවි. රටේ ආර්ථිකයත් ඉහළ යාවි.

නොයෙකුත් කෑම වර්ග සාදමින් ගෘහණියන් තම නිර්මාණශීලීත්වය උරගා බලාවි. මේ ඒ සඳහා මහඟු මඟපෙන්වීමකි.

 

ඉදිරිපත්කිරීම - ප්‍රවීණ සූපවේදිනී, ගෘහවිද්‍යා ආචාරිනී

රසිකා ශ්‍යාමලී කරුණාසේකර

 

උදේ ආහාරයට බඩඉරිඟු කැඳ

 

 

උදේ ආහාරයට පෙර කැඳ බොන්න පුරුදුවෙලා ඉන්න අයට කොළ කැඳ වෙනුවට සතියකට වරක්, දෙවරක් පෝෂණීය බවින් යුතු බඩඉරිඟු කැඳ ටිකක් බොන්න පුළුවන්. මේ කැඳ එකට හබලපෙති එකතු කරන නිසා තවත් ගුණයි.

අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි බඩඉරිඟු කරල් 2 ක්

හබලපෙති ග්‍රැම් 100 ක්

පොල් කිරි කෝප්ප 1 ක්

ලුණු කුඩු

සාදන අයුරු

පළමුව බඩඉරිඟු සූරා ගන්න.

බ්ලෙන්ඩරයට වතුර සමඟ දමා

හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

එයට පොල් කිරි සහ හබලපෙති

දමා ළිප තබන්න.

හැඳි ගාමින් පිසගන්න අමතක

කරන්න එපා.

අවශ්‍ය පමණ ලුණු දමා හකුරු

කැබැල්ලක් සමඟ පානය කරන්න.

 

-----------------

සේවරි මෆින්ස්

සේවරි මෆින්ස් ඕනෑම දෙයක් එකතු කොට පිළියෙල කරගන්නට පුළුවන්. ළපටි බඩඉරිඟුවලින් සාදාගත් සේවරි මෆීන්ස්වල බලන්නකෝ රස.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි බඩඉරිඟු ඇට ග්‍රෑම් 100 ක්

(තළාගත්)

බිත්තර 3 ක්

තම්බා ගත් කුඩා නූඩ්ල්ස් පැකට් 1 ක්

ලූනු, අමුමිරිස්

රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු

ග්‍රේට් කරගත් චීස්

සෝස්

කඩදාසි කප් කේක් (Paper Cups)

පිළියෙල කරන අන්දම

ළපටි බඩඉරිඟු කැබලි, ලූනු, අමු මිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කර තෙම්පරාදු කරගන්න.

එයට තැම්බූ නූඩ්ල්ස් එකතු කරන්න.

බිත්තර තුනම ගසා එකතු කරන්න.

කප් කේක් ට්‍රේ එකක් ගෙන එයට කප් කේක් කඩදාසි කෝප්ප එළා මිශ්‍රණය හැන්දෙන් පුරවන්න.

ග්‍රේට් කරගත් චීස් උඩින් දමන්න.

සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 20 ක් පමණ බේක් කරන්න.

බේක් වූ පසු සෝස් බිංදු කිහිපයක් උඩින් වත්කරන්න.

පාස්ලි කොළයක් ගසා සරසා ගන්න.

 

2020/10/20 තරුණි බලන්න.