පිටරැටියන් පවා වශී වූ අපේ කුළුබඩුවල රහස්

මාර්තු 10, 2021

 

කුරුඳු කුඩු ලෙසින් ආහාරයට යොදන්න

භාවිතයට ගත යුත්තේ ස්වභාවික විනාකිරි ය

කරාබු නැටි ආහාරයට යෙදිය යුත්තේ ප්‍රමිතියට අනුවයි

 

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාගෙන්

ආහාර මඟින් අප බලාපොරොත්තු වන්නේ කුසගින්න නිවීම පමණක් ම නොවේ. ආහාර ගැනීමෙන් ශරීරයේ නිරෝගී බව, වර්ණය, සැපය ඇති වේ. එහෙත් ඒ සියලු දේ ලබා ගැනීමට නම් ආහාර ගන්නන් වාලේ නොගෙන නිසි සේ සකසා ගත යුතුයි. රසයෙන් ගුණයෙන් යුතුව ආහාර සකසා ගැනීමෙන් රසය නිසා ආහාර ගැනීමට පෙලඹෙන අතර ගුණය නිසා සිරුරේ නිරෝගී බව ආරක්ෂා වේ.

 

ආහාර රස ගන්වන රස කාරක ගැන විවිධ අදහස් පළ වේ. කෘත්‍රිම රස කාරක මඟින් ආහාරවලට රසයක් ලබා දුන්න ද ඉන් සෞඛ්‍යයට බරපතල හානි සිදු කරන බව අද වන විට වෛද්‍ය විශේෂඥයන් විසින් සොයාගෙන ඇත. එපමණක් නොවේ, එම රසකාරකවල ඇබ්බැහි වන සුලු බවක් ද ඇත. නමුත් දේශීය රස කාරක මඟින් රසය මෙන්ම සිරුරේ රෝග දුරු කිරීම හා නිරෝගී බව ලබා දේ. ඒවායෙහි ඇබ්බැහි වන සුලු බවක් නැති අතර එකිනෙකට වෙනස් වූ රසයන් හා ගුණයන් පවතින බැවින් දේශීය රස කාරකවල විවිධත්වයක් ද ඇත.

පසුගිය සතිවල මෙන්ම අදත් අපි දේශීය රස කාරක 42න් රස කාරක කිහිපයක් ගැන දැනුවත් වෙමු.

 

කුරුඳු

සිනමන් (Cinnamon) ලෙසින් ඉංග්‍රීසි බසින් හැඳීන්වෙන කුරුඳු නිෂ්පාදනය සඳහා අතීතයේ පටන් ම අපේ රට කීර්තියක් උසුලයි. විදේශිකයන් අපේ රට ආක්‍රමණය කිරීමට එක් හේතුවක් වූයේ ද කුරුඳු ප්‍රමුඛ කුළුබඩු වර්ග නිසා යැයි ද ඉතිහාසයේ සඳහන් ය. මෙය රස කාරකයක් මෙන්ම සුවඳ කාරකයක් ලෙසින් ද යොදා ගනී. උදරාබාධ නැති කරයි. වාත රෝග අඩුකර සිරුර උණුසුම් කරයි. පිළිකා සඳහා මෙන්ම රුධිරගත රෝග සඳහා ද ගුණදායක ය. කුරුඳුවල පැණි රසක් ද පවතී. සිරුරේ මේදය දිය කිරීම සඳහා සුදුසු බව පැවසෙන බැවින් බොහෝ දෙනා අද වන විට කුරුඳු තේ බීමට පවා පෙලඹී සිටිති. ආහාර ජීර්ණය නිසි පරිදි සිදු කිරීමට ද කුරුඳු සමත් ය. එමෙන්ම කුරුඳු ව්‍යාංජන පිළියෙල කිරීමේ දී පමණක් නොව, අතුරුපස වර්ග, රස කැවිලි ආදිය සැකසීමේ දී ද යොදා ගන්නා රස කාරකයකි. කුරුඳු තෙල් ආයුර්වේදයේ දී මෙන්ම දේශීය වෙදකමේ දී ද යොදා ගන්නා ඖෂධයකි. එමෙන්ම ඉතාමත් මිල අධික ද්‍රව්‍යයක් ලෙසින් ද කුරුඳු තෙල් හැඳීන්විය හැකියි. මෙහි ඇති සුගන්ධවත් බව නිසා විලවුන් වැනි සුවඳකාරක ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී ද කුරුඳු තෙල් යොදා ගනී.

ආහාරවලට කුරුඳු යෙදීමේ දී කැබැලි ලෙස යෙදීම කොහෙත් ම සුදුසු නැත. එමඟින් කුරුඳුවලින් ලබා ගැනීමට අපේක්ෂා කරන ගුණය අඩු වේ. මන්ද කුරුඳු අපට කැවෙන්නේ නැති බැවිනි. මේ නිසා කුරුඳු නිවෙසට ගෙනා පසුව ඒවා හොඳීන් සෝදා, වේලා වංගෙඩියේ දමා කොටා හෝ ග්‍රයින්ඩරයෙන් අඹරා කුඩුකර ගන්න. මේ කුරුඳු කුඩු බෝතලයක දමා සුළං නොවදින සේ පියන තදකර වසා තබා භාවිතයට ගන්න. කුරුඳු යොදන හැම ව්‍යාංජනයකට ම මෙලෙසින් කුරුඳු කුඩු යෙදීමෙන් කුරුඳුවල ඇති පෝෂ්‍ය ගුණය අපට හොඳීන් ලබා ගත හැකියි.

කරාබු නැටි

ඉංග්‍රීසි භාෂාවෙන් ක්ලොව් (Clove)ලෙසින් හඳුන්වන කරාබු නැටි විශාල ගස් ලෙස වැඩේ. එම ගසේ හැදෙන කුඩා මල්වල නටුව කොටස මෙලෙසින් අප රස කාරක සඳහා යොදා ගනී. ඖෂධ සැකසීම සඳහා ද කරාබු නැටි ප්‍රයෝජනවත් ය.

සෙම හා පිත නසන ගුණයෙන් යුතු කරාබු නැටි කටුක, තිත්ත රසයෙන් යුතුය. ඉමිහිරි සුවඳකින් යුතුය. මෙහි කෑම රුචිය වර්ධනය කරන ගුණයක් අන්තර්ගත වේ. එමෙන්ම මුඛ රෝගවලට හා සෙම්රෝගවලට සුදුසු ය. දත් කැක්කුම් සඳහා කරාබු නැටි කැබැල්ලක් තබා ගැනීමෙන් එම වේදනාව සමනයකර ගැනීමට අපේ ඇත්තෝ පුරුදුව සිටිති. මෙය අත් බෙහෙතක් ලෙස සිදු කරන්නකි.

කොතරම් ගුණ වුවත් ආහාර සඳහා යෙදිය යුත්තේ නියමිත ප්‍රමිතියට අනුව පමණි. එහි යම් සැර බවක් ඇති නිසා නැතිනම් ආහාරයේ රස වෙනස් විය හැකි බැවිනි. එමෙන්ම කරාබු නැටි ආහාර කල් තබා ගැනීමේ දී ප්‍රයෝජනවත් වන රස කාරකයකි. පොළොස් වැනි ව්‍යාංජන පිළියෙල කිරීමේ දී මෙන්ම අතුරුපස වර්ග, ඇතැම් රස කැවිලි වර්ග සඳහා ඉතා සුළු ප්‍රමාණවලින් යොදා ගනී. කරාබුනැටි ගසක් වත්තේ ඇති නම් ඉන් අමතර ආදායමක් ලබා ගැනීමට වුවද ඔබට හැකියාව ඇත.

 

විනාකිරි

ඉංග්‍රීසි භාෂාවෙන් විනෙගර් (Vinegar)ලෙසින් හැඳීන් වේ. විනාකිරි වර්ග කිහිපයක් ඇතත් බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇත්තේ පොල් විනාකිරි ය. මෙහි ආහාර රුචිය වඩවන ගුණයක් ඇත. විනාකිරිවල ඇසිටික් ඇසිඩ් අන්තර්ගත බැවින් කෘත්‍රිම විනාකිරි සිරුරට අහිතකර ය. එමනිසා භාවිතයට ගත යුත්තේ ස්වභාවික විනාකිරි ය.

අච්චාරු, සම්බෝල, මෝජු වර්ග ආදිය සැකසීමේ දී විනාකිරි භාවිත කරයි. ආහාර සංරක්ෂණය සඳහා භාවිත වන රස කාරකයක් ලෙසින් ද විනාකිරි හැඳීන්විය හැකියි. කෘත්‍රිම විනාකිරි භාවිතය සිරුරට අහිතකර බැවින් ස්වභාවික විනාකිරි ම භාවිතයට ගැනීම සුදුසු ය.