ඔබෙන් සමට සිදුවන වැරැදි

මාර්තු 27, 2019

මුහුණ ලස්සන කර ගන්න අපි නොකරන දෙයක් නැහැ. ඒ නිසා කවුරුත් හිතා මතා මුහුණේ සමට වැරැදි කරන්නේ නැහැ.

නමුත් නොදැනුවත්කම නිසා අපේ අතින්ම අපේ සමේ සුන්දරත්වයට හානි වෙන්න පුළුවන්. ඒ නොදැනුවත්කම දැනුවත්කමකට හරවා ගත් විට එවැනි වැරැදි සිදු නොවේවි.

නිවැරදිව මුහුණ හෝදන්නේ කොහොමද?

මුහුණ සේදීමේදී මුහුණ අතුල්ලන්න යන්න එපා. මුහුණ අනවශ්‍ය ලෙස ඇතිල්ලීමෙන් මුහුණේ සම ඇදීමකට ලක් වෙන්න පුළුවන්. මෙය පුරුද්දක් ලෙස කිරීමේදී මුහුණේ සම එල්ලා වැටෙන්න පුළුවන්. මුහුණ සේදීම මෘදු ලෙස සිදු කරන්න.

මුහුණේ විවිධ සුවඳ, පාට යෙදූ සබන් ගාන්න එපා. සබන් වෙනුවට ෆේස් වොෂ් භාවිත කරන්න පුරුදු වෙන්න.

මුහුණ සේදීමට උණු වතුර භාවිත කරන්න එපා. වියළි සමක් සහිත අයගේ සම උණු වතුරට තවත් වියළෙනවා. තෙල් සහිත සමක් ඇති අය උණු වතුර භාවිත කිරීම නිසා සමේ රෝම කූප විවර වීමෙන් කුරුලෑ වැඩි වෙනවා. ඒ වගේම පුරුද්දක් විදිහට උණු වතුරින් මුහුණ සෝදන අයගේ මුහුණේ සම එල්ලා වැටීමකට ලක් වෙනවා. රාත්‍රී නින්දට කලින් මුහුණ සෝදන්න. අපිරිසුදු මුහුණක් ඇතිව නින්දට යාමෙන් කුරුලෑ වැඩි වෙනවා.

මුහුණ පිස දැමීමේ දී

මුහුණ පිස දමන්න ඕනේ ඉතා සෙමින්. හරියට තෙත මාත්තු කරනවා වගේ. තදින් මුහුණ පිස දැම්මොත්, කාලයත් සමඟ සම එල්ලා වැටෙන්න පටන් ගන්නවා. ඇස් යට තදින් ඇතිල්ලුවොත් ඇස් යට සම රැලි වැටිලා වල ගැහෙනවා. මුහුණේ වතුර සියල්ලම ඉවත්වන සේ මුහුණ පිස දැමිය යුතුයි. මුහුණේ වතුර ඉතුරු වීමෙන් සම වියැළෙනවා. ඇස් යට වතුර ඉතුරු වුණොත් ඇස් යට රැලි වැටෙනවා.

මුහුණ පිස දමන රෙද්ද පිරිසුදු වෙන්නත් ඕනේ. අපිරිසුදු තුවා භාවිත කිරීමෙන් සමට විසබීජ ඇතුළුවෙලා කුරුලෑ හා ලප ඇති වෙන්න ඉඩ තියෙනවා.

සම ආලේප කරන ක්‍රීම්

ඔබ පාවිච්චි කරන්නේ යාළුවා ගාලා හොඳයි කියලා කියපු ක්‍රීම් එක නම්, ටීවී එකට නළු නිළියන් ඇවිත් හොඳයි කියලා සහතික කරනා ක්‍රීම් එක නම් ඔබේ තේරීම නිවැරදි නැහැ. ඔබ ගාන්න ඕනේ ඔබේ සමට ගැළපෙන ක්‍රීම් වර්ගයක්. තෙල් සහිත සමට, වියළි සමට, සාමාන්‍ය සමට ගැළපෙන්න වෙන වෙනම නිපදවපු ක්‍රීම් වර්ග තිබෙනවා. ක්‍රීම් එකක් මිලදී ගනිද්දී ඒ ගැන සැලකිලිමත් වන්න.

ඔබ ගාන්නේ සති දෙකෙන් සුදු වෙනවා කියලා සහතික කරපු ක්‍රීම් එකක්ද? එහෙනම් අදම එය විසි කරන්න. සති දෙකෙන් සුදු වෙන්නේ ක්‍රීම්වල රසදිය තියෙන නිසා. සති දෙකකින් ලස්සනට සුදු වෙලා ටික දවසකින් හිටියටත් වැඩිය ඔබව අවලස්සන කරන්න ඔය ක්‍රීම් ජාතිවලට පුළුවන්. ඒ ක්‍රීම් ඔබට ඇඟේ අනිත් තැන්වලට සාපේක්ෂව අසාමාන්‍ය ලෙස සුදුම සුදු, ඒත් කළු තිත්, පැල්ලම් පිරුණු මුහුණක් ලබා දෙනවා. ඒ නිසා හැකි තරම් ඖෂධීය ක්‍රීම් වර්ග පමණක් භාවිත කරන්න.

ආහාර රටාව

තෙල් පිරුණු රෝල්ස්, කට්ලට්වලින් ඇත් වෙලා එළවළු, පලතුරු සහ පලා වර්ග බහුලව ආහාරයට ගන්න. ක්ෂණික ආහාරවන නූඩ්ල්ස්, පිට්සා වර්ග ආහාරයට ගන්න එක හැකි තරම් අඩු කරන්න. සමබල ආහාර වේලක් ගන්න.

ඉස්සන්, කකුළුවන් වැනි උෂ්ණාධික ආහාර ලබා ගැනීම මේ දිනවල තරමක් අඩු කරන්න. දිනකට වතුර ලීටර් 2 ක්වත් පානය කරන්න. තේ, කෝපි බිම අඩුකර ඒ වෙනුවට ඉරමුසු, බෙලිමල්, නෙල්ලි, බාර්ලි වැනි බීම බොන්න. එමඟින් සම පැහැපත් වෙනවා.

කුරුලෑ හටගත් විට

බොහෝදෙනෙක් උත්සාහ කරන්නේ කුරුලෑවක් දැකපු ගමන් කඩලා දාන්නයි. නමුත් ඒකෙන් ඔබේ අත්වල තියෙන විසබීජ තුවාලය තුළට යන්න පුළුවන්. ඒ වගේම මුහුණේ වළවල් සහ තුවාල කැළැල් ඇති වෙනවා.

ඊට අමතරව ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම, මේක්-අපි වැඩි වෙලාවක් මුහුණේ තබාගෙන සිටීම, අව්වට යනවිට කුඩයක් භාවිත නොකිරිම වැනි අතපසුවීම් තුළිනුත් ඔබේ සමේ සුන්දරත්වය ඔබට අහිමි විය හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ලංකා කුමාරි

ලක්-රූ සැලෝන්

දළුගම