මට මේ තරම් ප්‍රසිද්ධියක් ලැබෙන්න ඇත්තේ නර්සරියෙන් වැටුණු නම නිසයි

ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහ
ජනවාරි 6, 2021

ශ්‍රී ලංකාවේ මනාලියන් හැඩ ගැන්වීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස අඩ සිය වසරක් ගෞරවාදරයට පත් වී අදටත් එහි රැඳී සිටින්නේ කවුරුන්දැයි කවරකු හෝ ඇසුවොත් ඕනෑම කෙනකුට එකවර සිහිපත් වනුයේ ඔහුගේ නමයි. ඒ අන් කවරකුවත් නොව හැඩ ගැන්වීම් කලාවේ විශිෂ්ටයා වන හැරිස් විජේසිංහයන්ය.

පසුගිය දෙසැම්බර් 30 වැනිදා හැත්තෑහයවැනි උපන් දිනය සැමරූ ඔහු අඩ සියවසක් පුරා පල කෙරෙන තරුණී පුවත්පතටද සුවිශේෂී චරිතයක්.

හැඩ ගැන්වීම් ශිල්පියකු ලෙස මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවකට ගොඩවුණු ඔහු පිළිබඳව මුලින්ම රටට කියන්නේ තරුණී පුවත්පතින් වීම ඒ විශේෂත්වයයි.

දශක 5ක් පුරා ඔහු කළ මෙහෙවර පිළිබඳව මේ ඔහු සමග කළ සුහද පිළිසඳරයි.

මුලින්ම ඔබේ ළමාවිය පිළිබඳ මතකය අවදි කරමු

මගේ නම හරිශ්චන්ද්‍ර විජේසිංහ. පවුලේ අපි සහෝදර සහෝදරියන් හය දෙනෙක්. අක්කා මිය ගොසින්. මට බාල සහෝදරියන් දෙදෙනෙක් සහෝදරයන් දෙදෙනෙක් මට හිටියා. අපේ මහගෙදර තිබුණේ බම්බලපිටියේ. මගේ වැඩිම මතකය තිබුණේ අම්මා මාව නර්සරියට ඇතුළු කළ සිද්ධියයි. එහි අයිරිස් නර්සස්ලා හිටියේ. මා එයට ඇතුළු කළ අවස්ථාවේදී මගේ හරිස්චන්ද්‍ර කියන නම ඒ අයට පටලැවිල්ලක් වුණා. තාත්තා කීවා 'හරිස් ' කියල කියන්න කියල. ඒ අය හැරිස් කියල භාවිතා කරන්න පටන් ගත්තා. ඒ විදිහට තමයි මට හැරිස් කියන නම ලැබුණේ. නර්සරියෙන් වැටුණු නම නිසා තමයි මට මෙතරම් ප්‍රසිද්ධියක් ලබන්න ඇත්තේ කියලා තමයි මට හිතෙන්නේ. මව්පියන් සමග එදා උපන්දින සැමරුමක් එතරම් මතකයක් නෑ. වයස 21 දී මුල්ම උපන්දිනය සැමරුවා මතකයි.

ළමා කාලයේ මම හරිම දඟකාර ළමයෙක්. තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කිරි මධ්‍යස්ථානයේ දිස්ත්‍රික්ක සුපවයිසර් කෙනෙක්. මට වයස දොළහේදී තාත්තා මිය ගියා. ඒක හරියට අපේ පවුලට කුණාටුවක් ගැහැව්වා වාගේ වුණා. ඒ වගේම සල්ලියක් අවලංගු වුණා වාගේ ආර්ථිකයත් බිඳ වැටුණා. අම්මාට හොඳ වෙලාවට දේපළ තිබුණා. අම්මා අපේ පවුලේ දරුවන් හොඳින් හදාවඩා ගත්තා. අම්මා හොඳට සැප විඳපු කෙනෙක්. තාත්තා නැතිවුණාම අම්මා දරුවො පස් දෙනෙක් එක්ක තනිවුණා. එය මට හරියට බලපෑවා. අම්මා ලස්සනයි. අම්මාට ලොකු ලොකු අය නැවත විවාහ යෝජනා කළා. අම්මා දරුවන්ට තිබූ ආදරය නිසාම වෙන විවාහයක් නැතුව හිටියා.

පාසල් විය පිළිබඳව ඔබගේ මතකය කෙසේද ?

මම ගියේ නාලන්දා විද්‍යාලයට. බම්බලපිටියේ ගෙදර සිට ආච්චි ලොකු කාර් එකකින් ගිහින් බස්සනවා. දහවල් 1.00 ට පාසල් ඇරී ගෙදර එන විට ප්‍රමාද වෙයි කියලා පාසල අසල ගෙදරක මාව නතර කළා. මා පාසලේ දී හරිම නිහඬ චරිතයක්. ඉගෙන ගන්න ආසාවක් තිබුණේ නෑ. අටේ පන්තියෙන් පසුව මං වාණිජ අංශයට වැටුණා. සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා ෆේල් වුණා. පාස් වුණේ සිංහලයි බුද්ධාගමයි. ආච්චිලගෙ මහ ගෙදර ඉංග්‍රීසි පන්නයෙ තැනක්. ගෙවල් වල කතා බහ කළෙත් ඉංග්‍රීසි. ඒත් ඉංග්‍රීසිත් ෆේල් වුණ නිසා පහරක් වුණා ''මේ ළමයා මොනවා කරනවාද කියලා'' ආච්චි කීවාම ''ආච්චි මම සිංහල බෞද්ධයා කීවා''. ඉන්පස්සේ පාසලෙන් අස්කරලා වැල්ලවත්ත පොලිටෙක්නික් යතුරුලියන පන්තියට දැම්මා. එයට ආසා වුණත් රස්සාවකට දමනවාට මං කැමැති වුණේ නෑ.

හැඩ ගැන්වීම් ශිල්පියකු වුණේ කොහොමද?

කා හටවත් යටත් නොවී ඉන්න ඕන කියන මගේ හැඟීමක් තිබුණා. එය මගේ යටිහිතේ තිබූ දෙයක්. ඕනෑ දෙයක් කරනවා නම් මගෙ ලොක්කා මමයි. අපේ පවුලේ නෑදෑයෝ හරිම එකමුතුයි. නෑදෑ සහෝදරියන් ම 16 දෙනෙක් හිටියා. මම ඒ අය අල්ලගෙන එක එක විදිහේ කොණ්ඩා මෝසතර කරනවා. ඒ අයත් හරිම ආසාවෙන් මගේ ආසාවට ඉඩදීලා ඉන්නවා.

මට කෑම හදන්නත් පුළුවන්. ඒ නිසා පෙගසස් හෝටලයට යන්න ඉල්ලුම් කළා. ඒක ට ගන්නේ විභාගයක් තියලා. මට ලැබුණු විභාගය කකුළුවෝ තැම්බීම. මම කඩාගෙන පැනල ගෙදර ආවා. කොපමණ බිය වුණාද කීවොත් මට උණ ගැනුණා.

නමුත් පසුව ඔබ සූපවේදියකු ලෙස රැකියාවක් කරනවා.

ඔව්. පසු කලකදී බාප්පා සූප ශාස්ත්‍රය ඉගෙන ගන්න මාව ගල්කිස්ස හෝටලයට දැම්මා .ඒ හෝටලයේ "ලිට්ල් හට්ස්" තිබුණා. දැනටත් තියෙනවා. මාස හතරක පුහුණුවෙන් පස්සේ මම කෑම හදන්න පටන් ගත්තා.

සූපවේදියකු වුණු ඔබ හැඩ ගැන්වීම් ශිල්පියකු වෙන්නේ කොහොමද?

හෝටලයේ දී ඕඩර්ස් වලට කේක්, රෑ කෑම, දහවල් කෑම හදනවා. ඒ අතරේ මා කොණ්ඩෙ දාන එකත් කරනවා. ඔහොම යනවිට මිනිසුන් හොයාගෙන එන්න පටන් ගත්තා. කොණ්ඩෙ දැමීමට හැඩ ගැන්වීමට වැඩ එන්න පටන් ගත්තා. ඔය අතරේ නෑදෑ ගෙදරක දුවකුගේ විවාහයට මට අන්දන්න පුළුවන් ද ඇහුවා. මට පුළුවන් කිව්වා. කීදෙනෙක් අන්දල තියෙනවා ද ඇහුවා. දහ දෙනෙක් විතර කියලා මම සම්‍යක් ප්‍රයෝගී බොරුවක් කීවා. ඒත් ඒ වෙනකොට මම කිසිම කෙනෙක් අන්දවලා තිබුණේ නැහැ. මට පිපාසයක් වගේ තිබුණේ කාන්තාවන් ලස්සනට හැඩ කිරීමට.

මම ඒ මනාලිය හැඩ ගැන්වූවා. පළමු දිනයේ ලස්සනයි කියලා කවුරුත් සතුටු වුණා සාර්ථක නිසා දෙවැනි දවසටත් හෝම්කමින් එකට මාව රත්නපුරේ කැඳවාගෙන ගියා. මම එදාත් මනාලිය හැඩ ගැන්නුවා. හරි ශෝක් කියල කවුරුත් සතුටු වුණා. ඒ තමයි මගේ ආරම්භය. එතැන් සිට මනාලියන් හැඩ ගැන්වීම මම පටන් ගත්තා.

ගෙදර සිට මනාලියන් හැඩ ගැන්වූ ඔබ මුලින්ම වේදිකාවට ගොඩවුණු සිදුවීම 1994 මාර්තු මස 2 වැනි දා 'තරුණි' පුවත්පතේ පලවුණා. එය ඔබ පිළිබඳව පුවත්පතක පළවූ පළමු ලිපිය. මතකද ඒ අතීතය.

එය මම වැඩමුළුවකට වේදිකාවට නැගපු මුල් දවසයි. හැරිස් විජේසිංහ නම් දැරූ මේ සුවිශේෂී ශිල්පියා සහ ඔහු මනාලියක් හැඩ ගන්වන අයුරු සියැසින් දැක ගන්නට පිරිස් පැමිණියා. මෙය පැවැත්වූණේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ. වේදිකාවට ආරාධනා කළේ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් මහතායි. එදා වේදිකාවේදී මාව හඳුන්වා දුන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මහතායි. ඒ දිනය මට සුවිශේෂීයි. ඒ අවස්ථාව 'තරුණී' හි පළවුණා. එම සටහන ලියා තිබුණේ ඔබයි. කාන්තා පුවත් පතක් මගින් මගේ පළමු හඳුන්වා දීම සිදු කරමින් මගේ මේ ගමනට ශක්තිය දුන්නේ 'තරුණි' පුවත්පත බව සතුටින් පවසන්න පුළුවන්.

පසුගිය අවුරුදු වල උපන්දිනය සැමරුම මහ පිංකම පැවැත්වූ අයුරු කෙටියෙන් කිව හැකිද ?

මගේ උපන්දිනය සැමරීමට පිංකමක් පැවැත්වීම ට හිත දුන්නේ මම ආගමට බොහොම ළැදි නිසයි. හේන්පිට ගෙදර ඤාණාවාස හාමුදුරුවෝ මගේ දොස්තර නැන්දගෙ එක පුතෙක් . ඉතින් මා උන් වහන්සේ සමීපව ඇසුරු කළා. මා බුද්ධාගමට සම්බන්ධ නිසා කල්පනා කළා උපන්දිනයට පන්සලේ බෝධිපූජාවක් කරන්න ඕනෑ කියලා. අවුරුදු 30 පිරෙන විට මා සිටියේ කවුඩානේ. පළමුවනිදා සිට 30 වැනිදා වනතුරු බෝධිපූජා 30 ක් කළා.

රුපියල් 75 කින් මල් ගෙනැවිත් පටන් ගත්තෙ. ඊළඟ උපන්දිනයට ඉන්දියාවෙන් මල් ගේන මට්ටමට වැඩි කළා. ඒ කාලේ ගංගොඩවිල සෝම හිමියන් සමඟ මා ළඟින්ම ඇසුරු කළා. ''හැරිස් අයියේ අපි මේ පූජාව මහරගම ධර්මායතනයට ගෙන යමු''යි උන් වහන්සේ යෝජනා කළා. බෝධිපූජාවක් කියන්නේ හිත් පිරුණු පූජාවක් නේ. අවුරුද්ද අන්තිමට එවැනි පිංකම කාහටත් වටිනාකමක් ඇති බව මට වැටහුණා. සෝම හාමුදුරුවන්, මඩිහෙ පඤ්ඤාසීහ හාමුදුරුවන්, අංපිටියේ රාහුල හාමුදුරුවන්, කොටුගොඩ ධම්මාවාස හිමියන් මගේ මේ පිංකමට මූලිකත්වයගෙන කටයුතු කරලා තියෙනවා.

 

ඔබට ජනතාවගේ ආදරය ලබන ශිල්පියෙක්.

ඇත්තටම ඒ ගැන සතුටුයි. ජනතාවගේ ආදරණීය රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස ලබන ආදරය, මා හැඩ ගන්වන දියණිවරු මට ආමන්ත්‍රණය කරන ආකාරයෙන් ම දැනෙනවා ඔවුන් කොතරම් දුරට සතුටු වෙනවාද කියා. ඒ ජනප්‍රියත්වය මා හට තවමත් තිබෙනවා.

ඔබ තවමත් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමේ රහසක් තිබෙනවාද?

දැන් වැඩ අඩුයි. එය ස්වභාවය. මමත් වයසට ගිහින්. හැබැයි මගේ දක්ෂතාවය තව තවත් තීව්‍ර වෙනවා. මට හොඳට දැනෙන දෙයක් තමයි සමහර වැඩමුළුවලට ගිය විටදී ''අනේ බලන්නකෝ ඔබතුමා අඳින අයි ලයින් එක හරි ලස්සනයි'' කියනවා.

මගේ ශරීරය දුර්වලයි. දෑත් දුර්වලයි. හැබැයි මගේ මනස ශක්තිමත්. මගේ දෑත් ගෙනයන්නේ මනස විසින්. ආගමත් සමග තව තවත් සම්බන්ධ වෙන්නෙ අනිත්‍ය ගැන හොඳට වටහා ගෙන මේ වෘත්තීය කරන නිසයි. ආගමානුකූල දිවියක් ගෙවමින් මම මනස දියුණු කළ නිසා වයස 76ක් ගතවෙලත් අද මෙතැන තවමත් සිටිනවා.

සංගීතය දෙසට ඔබ යොමුවුණා ඒ පිළිබඳව වචන කීපයක් කීවොත්

පොඩි කාලේ සිට සංගීතයට මා හරි ආසයි. ක්ෂේත්‍රයේ දී අවිවේකය නිසා ඒ පැත්තට යාමට හැකිවුණේ නෑ. පොඩි කාලේදී වත්කමක් තිබුණෙත් නෑ. මා තුළ සැගව තිබූ ඒ ආශාව දැනගත්තු මගේ ඥාති සහෝදරියක් කීවා ''මල්ලි අපේ පුතා කලභූමි වලට යනවා සංගීතය ඉගෙන ගන්න.'' ඒ පුතා සමඟ මමත් එහි ගියා. මට ඉගැන්වුයේ විශාරද නලින් අල්විස්. මම පැරැණි ගීත වලට හරි ආසයි. මා සෝම හාමුදුරුවන් ට කීවා ගීතයකට පද ටිකක් ලියල දෙන්න කියලා. ථේර ගාථාවක් මේක කියන්න කීවා. හාමුදුරුවන් ගෙ අන්තිම බණ තිබ්බෙ මොරටුවෙ අපේ ගෙදර. මා රෙකෝඩ් කළ සිංදුව අහන්න සැලැස්වුවා. හැරිස් අයියට බෞද්ධ ගීත හොඳයි දිගටම කියන්න කීවා. ඊට පසු ගීත ගණනාවක්ම ගායනා කරන්න අවස්ථාව ලැබුණා. දුක් සංසිඳේවා, සිරි බුද්ධ ගයා විහාරේ යන ඒ ගීත වලට විෂුවල් කීපයක්ම කරලා තිබෙනවා.

මේ ක්ෂේත්‍රයේ යෙදෙන කාන්තාවන්ට කියන්නට යමක් තිබේද?

මේ ක්ෂේත්‍රය හරි දියුණු වෙලා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒත් අද රූපලාවණ්‍ය ක්ෂේත්‍රය අන්තිම තට්ටුවට වැටිලා කියා මා දකිනවා. මිනිස්සු අන්ධ වෙලා එය හොඳ දෙයක් නොවෙයි. සල්ලි මත්තෙ යන්න ඕනා නිසා දැන් කරන ස්ටයිල් එක කියමින් ඒකම කරනවා. අපට තවමත් එහෙම හිතිලා නෑ. අපි තවම මේ කලාවට ආදරය කරනවා. මනාලියක් විදිහට හැඩවෙන්න කොහොමද හොඳකියලා යුවතියක් ඇවිල්ල ඇහුවම හරි උත්තරේ දෙනවා මනාලියෙක් වන්නේ එක්වරයි. එදාට කෘත්‍රීම පෙනුම ගන්න එපා. කළු නම් ඒ වර්ණයෙන් සිටින්න. සුදු කරගෙන අමුතු වෙන්න එපා. මම ශිරාණි ව අන්දපුවාම ශිරාණි රමණිවගේ පෙනුණොත් වැඩක් නෑ. ශිරාණි, ශිරාණි වගේ පෙනෙන්න ඹ්නෑ.

මේ කලාව ආදරයෙන් පිරුණු එකක්ම විය යුතුයි. මුදලට එහා ආදරය තියෙන්න ඕනෑ මුදල් උපයන්න ඕනෑ බව ඇත්ත. නමුත් ගන්නා මුදලට වඩා තමන්ගේ කැපවීමයි ආදරෙයි දෙන්න ඕනෑ. මනාලිය එන්නෙ පීඩනයෙන්. එය කරුණාවෙන් හසුරුවන්න ඕනෑ. මොන ජාතිය වුණත් ආගමක් තිබිය යුතුයි. ලෝකයට පෙන්වන ආගම නොවෙයි ආගමක් විය යුත්තේ ප්‍රතිපත්ති රැකීමයි.

මෙවර උපන්දින පිංකම ලොකුවට කළේ නැහැ. මා පන්සල ට ගිහින් සුළු පරිමාණ යෙන් වැඳපුදා ගෙන එනවා. රටේ පවතින තත්ත්වය මත මා සැමට සුවය ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා.

 

ඡායා  දයාන් විතාරණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.