අනුරාධපුරයේ රුවන් චම්පික මොඩ් ගොවියෙක් වුණු හැටි

අප්‍රේල් 29, 2020

අපට සැමට උපතින් උරුම හැකියාව හඳුන්වන්නේ සහජ කුසලතාවය ලෙසිනි. එම සහජ කුසලතාව ප්‍රගුණ කිරීම තුළින් ගමන් කළ හැකි දුර බොහෝය. රුව ඔප කරන කලාවේ ප්‍රවීණයන් බිහි වී ඇත්තේ ද එවැනි දක්ෂයන්ගෙනි. මේ ලක් දෙරණ මත කොතැනක සිටියත් එවැනි දක්ෂයන්ගේ හැකියාවට ඉඩක් හා වේදිකාවක් නිර්මාණය වන්නේ ද නිරායාසයෙනි. රුවන් චම්පික නම් දක්ෂයා ද රුව හැඩ කරන කලාවේ අගනා රුවනකි. අනුරපුරයෙන් බිහිවන රුවන් ගෙන්දගම් පොළවේ සුවඳ සොයා නොපැමිණියත් එහි ජිවත් වූ බොහෝ යුවතියන් සිය මංගල දිනයේ හැඩවෙන්නට ඔහු සොයා ගියේ ඔහු සතු එම ප්‍රතිභාවය නිසාමය.

අප ඔහු ගැන විශේෂ සටහනක් මෙහි තබන්නේ රුවන් ගැන වෙනස්ම කතාවක් ගැන ඔබ හමුවේ තබන්නටය. රුවන් රුව හැඩ කරන කලාවට පිවිසී වසර 25 කට වැඩිය. එම දිගු කාලය තුළ කළ මෙහෙවර ද අති විශාලය. උතුරු මැද පළාතේ අලුත් යමක් කරන්නට සිතු රුවන් මුල්ම රූපලාවණ්‍ය ප්‍රදර්ශනයක් පවත්වමින් තම සංවිධාන ශක්තිය හා ඔහුගේ හැකියාව රටට ප්‍රදර්ශනය කළේ කොළඹට සීමා වූ රූපලාවණ්‍ය කලාවේ නව්‍යකරණය අනුරපුර ශිල්පීන් හට ළඟාකර දෙමිනි.

ඔහු එතැනින් නතර නොවීය. හැඩවැඩ කලාවට වඩා යමක් කරන්නට ඔහු සැම විටම උත්සහ කළේ මේ මහ පොළවට බරක් නොවී ණය නැති මිනිසකු ලෙසින් ජිවත්වීමේ අපේක්ෂාවෙනි. ඔහු අපට හමු වූ බො‍හෝ අවස්ථාවන්හිදී එම අදහස සඳහන් කළේ ඉතාම හැගුම්බරවය. “අපි මිනිස්සු හැටියට සල්ලී විතරක් හොයලා සතුටු වෙන්න බැහැ. ගහක් කොළක් හිටවන්න ඕනේ. කවදා හරි ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලබන්න පුඵවන්. අපි කරන මේ කිසිම රස්සාවකින් ඒ සතුට අපට ලබන්න බැහැ‍නේ. ඇඟට දහඩිය ටිකක් දාන්න වැඩ කරන එකත් අමුතුම අත්දැකීමක්.“ රුවන් මෙලෙසින් සඳහන් කළේ මෙයට මාස කිහිපයකට පෙරය. වැව් බැඳි රාජ්‍යයේ ඉපැදුණු අයට සහජයෙන්ම උරුම වුණු ඒ ගොවිකමට අනුව කටයුතු කළ රුවන් එදා පැවසූ වදන් යථාර්ථයක් වී තිබේ. ඔහු දැන් එහි ඵලදාව නෙළා ගන්නට මඟබලා සිටියි. වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම රුවන් මහ පොළවට බරක් නැති ගොවියෙකි. නිකම්ම ගොවියකු නොවන රුවන් හැඩකාර ආඩම්බර ගොවි මහතෙකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.