නා දලු වන් තොල් සඟලක හිමිකාරියක් වන්නට නම්...

නොවැම්බර් 6, 2019

නා දලු වන් තොල් සඟල යුවතියකට ආභරණයකි. කවියකුට අපූරු පදවැල් ගෙතෙන්නට තරම් තොල් සඟල රූපශී‍්‍රයේ මහඟු දායාදයකි.

වර්තමානයේ එවන් නා දලු වන් තොල් සඟලක හිමිකාරියක් වන්නට වාසනාව ලබන්නේ කීයෙන් කී දෙනා ද? නමුත් ඒ සඳහා කම්පා විය යුතු ද නොවේ. එවන් තොල් සඟලක හිමිකාරියක් වීමට රූපලාවණ්‍යයේ අවස්ථාව ඇත. එනිසාමයි මේක්-අප් එකකදී තොල් ආලේපනයට සුවිශේෂී තැනක් හිමිවන්නේ. තොල්වල ඇති පුංචි පුංචි අඩුපාඩු මඟහරවා රූසපුවට ආකර්ෂණීය බවක් එක්කරන්නට දැන් තොල් ආලේපනයන්ට හැකියාව ලැබී තිබෙනවා.

තොල් ආලේපන නිවැරැදිව ආලේප කළ යුත්තේ කෙසේ ද? ඒ පිළිබඳයි මේ දැනුවත් කිරීම.

 

තොල් වර්ණ ගැන්වීමේ අවශ්‍යතාව ගැන පමණක් සිතා තොල් ආලේපන ගැල්වීම නිවැරැදි ක්‍රමයක් නොවේ. තොල් ආලේපන භාවිත කරනවිට, සහභාගී වන අවස්ථාව, අඳින ඇඳුම් පැලඳුම්, යන ස්ථානය ආදී කරුණු ගැන ද සිතා බැලිය යුතුයි. මේ සඳහා යොදාගනු ලබන පාට අනුව යමකු වෙතින් විවිධ ස්වරූපයන් මතු වේ. එනම් නපුරු බව, අහිංසක බව, සරාගී බව ආදී වශයෙන් ඉස්මතු කර පෙන්විය හැකියි. එබැවින් විවිධ ආකාරයේ තොල් ආලේපන වෙළෙඳ පොළේ ඇතත් අප තෝරා ගත යුත්තේ තමන්ට ගැළපෙන ආකාරයේ ඒවායි.

සාමාන්‍යයෙන් කාර්යාලයට යන කාන්තාවකට නම් දිලිසෙන බවකින් යුත් තොල් ආලේපන නොගැළපෙයි. එවන් අයට වඩාත් ගැළපෙන්නේ මැට් වර්ණ දියර ආලේපනයි. දිලිසෙන බවක් ඇති තොල් ආලේපනවලින් සරාගී බවක් මතු කරයි. එබැවින් මේ ආලේපන භාවිතයේ දී සැලකිලිමත් විය යුතුයි. තමන්ගේ සමේ පැහැයත් සමඟ ගැළපෙන ආකාරයේ වර්ණ තෝරාගැනීමටත් ඔබ දැනුවත් විය යුතුයි.

හොඳ තත්ත්වයේ ආලේපන තෝරාගන්න

තොල් ආලේපන භාවිත කරනවා නම් හැම විටම හොඳ ප්‍රමිතියකින් යුතු උසස් තත්ත්වයේ ආලේපන තෝරාගැනීම ඉතා වැදගත්. තොල් ආලේපන භාවිත කරන ඇතැම් අයට යම් යම් ගැටලු මතුවන්නේ බාල වර්ගයේ තොල් ආලේපන නිසයි. අඩු ගණන් යටතේ ලබාගන්නා බාල වර්ගයේ තොල් ආලේපන නිසා තොල් කළුවීම, වියැළීම, දුර්වර්ණ වීම ළප මතුවීම වැනි දේ සිදුවිය හැකියි.

තොල් ආලේපන වර්ග

තොල් ආලේපන වර්ග විවිධ ආකාරයෙන් ලබාගන්නට පුළුවන්. දියර, මැට් සහ දිලිසෙන වර්ග වශයෙන් මෙහිදී තෝරාගත හැකියි. දැන් වැඩි දෙනෙක් කැමැත්තක් දක්වන්නේ විනිවිද පෙනෙන දියර ලිප්ස්ටික් භාවිත කරන්නටයි. එනම් ලිප් ග්ලොස් එකටයි. ලිප් ග්ලොස් වර්ග දෙකකි. එනම් දිලිසෙන ස්වභාවය ඇති සහ විනිවිද පෙනෙන ලිප්ස්ටික් ය.

 

උපදෙස් - ගම්පහ දිස්ත්‍රික් රූපලාවණ්‍ය සංගමයේ සභාපති, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

ජොනී ගුණසේකර

2019/11/06 තරුණි බලන්න