මානසික සුවය සහ සතුට රැකගත යුත්තේ ඔබමයි

නොවැම්බර් 27, 2019

අපට අවශ්‍ය ධනාත්මක වෙනසක් ලබාගන්න. පසුගිය සති කිහිපය පුරාම අප කතාකළේ අපගේ බාහිර පෙනුම ලස්සනට මනාව, පිරිසුදුව, පිළවෙළකට තබාගන්නා ආකාරයයි.

තැනට සුදුසු විදිහට පෙනුම, ඇඳුම, පැලඳුම අප සකස් කරගෙන තියෙනවා නම් සමාජය අපිට ගරුකරනවා. පිළිගනු ලබනවා. අප තුළින් ආකර්ෂණයක් ගොඩනැඟෙනවා.

ඉතින් අපිට බාහිර පෙනුම පමණක්ම ඇති ද? නැහැ. එපමණකින්ම සෑහීමකට පත්වීම අපහසුයි. අපේ බාහිර පෙනුම වගේම පෞරුෂය ගොඩනගා ගැනීමට තවත් වැගදත්ම දෙයක් තියෙනවා. එනම් අප හොඳ මානසික හා ශාරීරික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගත යුතුයි. විශේෂයෙන්ම ලස්සනට ඇඳලා හිටියට නිරෝගී සිරුරක් නැත්නම් අප තුළ ශක්තියක් නැත්නම් අපේ ලස්සන පවත්වාගෙන යෑම අසීරුයි. උසට සරිලන බර තබාගත යුතුයි. නිතරම ව්‍යායාම නො කළත් ඇවිදීමට පුරුදුවෙලා තියෙනවා නම් මුකුත් නො කරන ඔබට එය ද සෑහීමකට පත්වීමට හැකි කරුණක්. අප වැඩිපුර බත් කෑමට හුරුවුණු පරපුරක්. ප්‍රධාන ආහාර වේල බත්.

නමුත් අද වෙනකොට තරුණ තරුණියන් ද කෑම පාලනයට හුරුවේගන එනවා. තමන්ට හිතුමතේට ආහාර පාලනය කිරීමට යෑම නම් සුදුසු නැහැ. ගොඩක් වෙලාවට අන්තර්ජාලය හරහා ද පැතිරෙන ආහාර පාලන ක්‍රම අනුගමනය කිරීම ද අනුමත කළ නො හැකියි. මේ සඳහා සුදුසුකම් ලත් පෝෂණවේදීන් මුණගැසී ඔබ කතා කළ යුතුයි. හැමවිටම පලතුරු, අමු එළවළු සලාද වැඩිපුර ආහාරයට එක්කර ගන්න. පලතුරු, කොළ පාට එළවළු ඕනෑම වයසක කෙනකුට යෝග්‍යයි. කාන්තාවන් වයස 35-40 වනවිට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ ගැන දැනුවත්ව සිටීම ද අතිශය වැදගත්. මාසික ඔසප්වීම් නියමිත පිළිවෙළකට සිදුනොවන්නේ නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා මුණගැසීම වැදගත්. ඔබේ ශරීරයේ අපහසුතාවන් ගැන හොඳ අවබෝධයෙන් සිටීම තුළින් නියමිත වේලාවට ලෙඩ රෝග හඳුනාගත හැකි වෙනවා. කාන්තාවන් සෑම කෙනෙක්ම ශාරීරිකව, මානසිකව ශක්ති සම්පන්නව සිටිය යුතුයි. දරුවන් බිහිකිරීමට, හදාවඩාගැනීමට, පවුලක මූලිකත්වය ගැනීමට, කාන්තාවට දැනුම වගේම සෞඛ්‍යය සම්පන්නව සිටීම වැදගත්.

කාන්තාව සැමවිටම ධෛර්යවන්තව තමන්ගේ ගැටලුවලට මුහුණ දිය යුතුයි. ඒ ශක්තිය තමන් තුළ වර්ධනය කරගැනීමට අප ඉවසීමෙන් වැඩ කටයුතු කළ යුතු වෙනවා. වෛද්‍යවරයකුට ඔබට අවශ්‍ය බෙහෙත් වර්ග නියම කළ හැකි වුණත්, ඔබගේ මානසික සුවය, ඔබේ සතුට රැකගත යුත්තේ ඔබයි.

තම සුන්දරත්වය ගොඩනඟා ගෙන ධෛර්යවන්තව සමාජ ගතවීමේ දී විවිධ ගැටලුවලට මුහුණ දීමට ඇයට සිදුවෙනවා. කුටුම්බය රැකගෙන තමන් තුළ අභිමානයක් ගොඩනඟා ගැනීමට තරුණී යෙහෙළියක් වගේ ඔබේ ළඟින් ඉන්නවා. මෙවැනි ලිපිමාලා තුළින්, කාන්තාව තුළ ශක්තියක් ගොඩ නැඟීමත් ඇය තනි නොකිරීමත් දැනුම ලබාදී ආකල්ප වර්ධනය කිරීමත් සිදුවෙනවා. ඔබ මේ දේවල් ආදරෙන් ජීවිතයට එකතුකරගන්න. ගැළපෙන දේවල්, කැමැති දේවල් තරුණී තුළින් අරගෙන ක්‍රියාවට නඟන්න.

අපිට පුළුවන් නම් සැමවිටම අප තුළ ජීවත්වන සත්‍ය චරිතය හඳුනාගන්න. එය ඔබට පහසුවක් වෙනවා. ‘ඔබ කවුද ?’ කියන දේ ඔබ අවබෝධ කරගෙන ජීවත් විය යුතුයි. ඇතුළතින් කෙනකුත් පිටතට පේන්න වෙන චරිතයකුත් බිහිකිරීම තුළ ඔබ නිතරම ඔබව රවටා ගැනීමකට ලක්කරගන්නවා. ඔබ ඇත්තටම කෑගහලා හිනාවෙලා ඉන්න කැමැති කෙනෙක්. නමුත් නැන්දම්මා, මහත්තයා කැමැති නැහැ ඔබ ඒ විදිහට හැසිරෙනවට. ඉතින් ඔබ ඔබේ හැඟීම් බොහොම අමාරුවෙන් පාලනය කරගෙන ජීවත්වෙනවා. සමහරු ඉන්නවා අම්මලා ගාවදි කාපු කෑම බීම, විවාහ වෙලා ගිය ගෙදරදි හදාගෙන කන්න බැහැ. තමන් කැමැති ජ්චඵඩඪධද කරන්න බැහැ, කොණ්ඩය කපන්න බැහැ, ගෙදරදි පාවහන් පලඳින්න බැහැ. මෙවැනි විවිධ දේවල්වලින් මානසික පීඩාවට ලක්වෙන කාන්තාවන් ඉන්නවා. විවාහය කියන්නෙ දෙදෙනෙක් එකතුවෙලා ජීවිතය ගොඩනඟා ගන්නවටයි.

 

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2019/11/27 තරුණි බලන්න