විස්මිත බලයක් රැගත් හාතාවාරිය

ජනවාරි 8, 2020

මොනතරම් පියකරු සොඳුරු මල් ගොමුවකින් ගෙවත්ත හැඩකාර කළ ද දිව ඔසුවක් පරයන ගුණ සමුදායකින් යුතු වුව ද හාතාවාරිය වැලක් ගෙවත්තට එක් කරගන්න අපේ බොහෝ ගෘහණියන් උනන්දුවක් දක්වන්නේ නම් නැත. ඉබේට පැළ වෙන හාතාවාරිය වැලෙන් අප ගන්නා එකම ප්‍රයෝජනය එහි කොළවලින් කැඳ පිළියෙල කර ගැනීම පමණි. පවුලේ සැමට ගුණදායක ඔසුවක් වන නමුදු හාතාවාරිය යනු කාන්තාවන් වෙනුවෙන්ම මිහිතලයේ රෝපණය වුණු ඖෂධයකි. ඉන්දියාවේ මේ ඔසු පැළය කාන්තාවකට සැමියන් සිය දෙනකු හා සම කරයි. කාන්තාවකට උපතේ සිට මරණය දක්වා නීරෝගිව සතුටින් ජීවත්වීමට හාතාවාරිය මුළු ශාකයම උපකාරී වෙයි.

අපේ රටේ වැඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ හාතාවාරිය කොළ වුණත් හාතාවාරිය මුල් ද නිරන්තරයෙන් කෑමට ගත යුතුය. ආයුර්වේදයට අනුව අපේ සිරුරේ බොහෝ පද්ධතීන් හොඳින් ක්‍රියාත්මක වීමට පෝෂණය කිරීමට හාතාවාරියවල පෝෂණ ගුණය, ඔසු ගුණය උපකාරී වෙයි.

 

* කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමට

* කිරි දෙන කාන්තාවන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට

* කාන්තා හෝර්මෝන සමතුලිත කිරීමට

* පිරිමි ප්‍රජනන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කිරීමට

* ජීර්ණ පද්ධතිය නීරෝගිව පවත්වා ගැනීමට

* ස්වසන පද්ධතියේ තෙතමනය රැක ගැනීමට

* ශරීර ශක්තිය හොඳින් පවත්වා ගෙන යාමට

* ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීමට

* ප්‍රතිඔක්සිකාරකවලින් පිළිකා ආදී බෝනොවන රෝගවලින් සිරුර ආරක්ෂා කරගැනීමට හාතාවාරිය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

ආයුර්වේදයේ මෙය පිත හා වාතය සමතුලිත කිරීමට යොදාගනී. එහෙත් සෙම අධික අය නම් සෙම් ගුණය වැඩිවන නිසා පරිභෝජනය කළ යුත්තේ අඩුවෙනි. හාතාවාරිය ශාඛයේ අල කුඩුකර උණුසුම් කිරි හෝ මීපැණි හෝ උක් හකුරු සමඟ මිශ්‍රකර වරකට තේ හැඳි කාලක් කෑමට ගැනීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාබ බොහෝය. ගිතෙල් සමඟ මිශ්‍රකර ද කෑමට ගත හැකිය. ඡවනප්‍රාශ් නම් සුවිශේෂී ඖෂධයේ හාතාවාරිය ඉතා වැදගත් අමු ද්‍රව්‍යයක් ලෙස අඩංගුයි.

ආර්තවය ආශි‍්‍රතව ඇතිවන වේදනාව සරුවයසේ කාන්තාවන් මුහුණ දෙන තත්ත්වයකි. අධික උණුසුමක් දැනීම, දහදිය අධිකව දැනීම, ඔසප් වීම නතරවූ පසු කාන්තාවන් මුහුණ දෙන ගැටලු අතර වෙයි. මේ සියලුම ගැටලුවලට හාතවාරියා විසඳුමකි. ගර්භාෂය ඉවත්කළ කාන්තාවන්ට ද ඊස්ට්‍රජන් මට්ටම අඩුුවීමෙන් ඇතිවන අසහනකාරී තත්ත්වයන්ට හාතාවාරිය විසඳුමකි. ගැහැනු - පිරිමි දෙපිරිසටම සරාගී සිතිවිලි අවදි කිරීමට හාතාවාරියවල අඩංගු ඔසු ගුණය උපකාරී වෙයි.

හාතවාරිය පවුලේ ඔසුවකි. එය පිරිමින්ගේ ද ප්‍රජනන පද්ධතිය සවිමත් කර ශුක්‍රාණුුවල නීරෝගි බව වැඩි කරයි. ලිංගික බෙලහීනතාව ඇති පිරිමින්ට ද මෙය ගුණදායකයි. පිරිමි ප්‍රජනන පද්ධතියේ ප්‍රදාහයන් වළක්වයි.

මෙය මිනිස් මොළයේ සුවතාව ද රකින්නේ ස්නායු පද්ධතිය සුවපත් කරමිනි. වියළි, දරුණු කැස්සක් පවතින විට යළි පෙණහලුවලට තෙතමනය ලබාදීමට හාතාවාරිය භාවිතා කළ හැකිය.

ඩයරියා තත්ත්වය පවතිද්දී විජලනය වැනි දරුණු අතුරු ආබාධ වැළැක්වීමට හාතාවාරිය යොදාගනී. ආමාශදාහය මෙන්ම ආමාශය, අන්ත්‍ර ආශි‍්‍රත පිළිකා ද මේ කාලයේ සුලබය. මෙවැනි තත්ත්වයන්ට හාතාවාරිය පිළියමකි.

හාතාවාරිය අල කෑමෙන් මුත්‍රාගල් සෑදීමට ඇති ඉඩ අඩු කරගත හැකිය. රුධිරයේ සීනි මට්ටම අඩු කරන ඔසු රාශියකි. හාතවාරිය ද ඒ ඔසුවලින් එකකි.

අපේ සමේ තාරුණ්‍යය රැක ගන්නේ සමේ යට ඇති කොලජන් තට්ටුවයි. හාතාවාරිය කොලජන් තට්ටුව රැක ගැනීමට උපකාරී වන රසායන ගණනාවකින්ම පොහොසත්ය. මානසික ගැටලුවලින් ( විෂාදය වැනි ) පෙළෙන රෝගීන්ට සහනයක් ගෙන දීමට හාතාවාරිය කලක සිට ආයුර්ෙවේදයේ යොදාගනී. දැන් බටහිර රටවල ද මෙය ඔසුවක් ලෙසින් යොදාගනී.

රුව රැක ගැනීමට

හාතාවාරිය කුඩු මේස හැඳි 1 ක්, වදමල් කුඩු මේස හැඳි 1 ක්, රෝස වතුර තේ හැඳි 1 ක්, මී පැණි සමඟ මිශ්‍රකර මුහුණේ ගල්වා මිනිත්තු 15 කට පසු සෝදා හරින්න. මේ වයස දශක ගණනාවකින් අඩු කරගත හැකි ක්‍රමයකි. සම බාහිර විස ද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂාකර සම යට ඇති කොලජන් තට්ටුව ද සුරකියි. ඒ නිසා මෙය සමේ තාරුණ්‍යය රැකගන්නා ඔසු මිශ්‍රණයකි.