නිරෝගී බවේ පෙළගැස්ම මෙහෙම පටන් ගනිමු ද?

ජුනි 10, 2020

 

ආරෝග්‍යා පරමා ලාභා යනු කායික සුවතාවයයි. සන්තුට්ඨී පරමං ධනං යනු සිතේ පවතින සතුටයි. විශ්වාසා පරමා ඥාති යනු පුද්ගලයා පිළිබඳ ඇති විශ්වාසයි. පුද්ගලයකු පිළිබඳ විශ්වාසය ගොඩනැගෙන්නේ ඒ⁣ කෙනාගේ හැසිරීම් රටාවේ යහපත් බව අනුවයි. නිබ්බානං පරමං සුඛං යනු ආගමිකව හා ආධ්‍යාත්මිකව තිබෙන්නාවූ නිවුණු බවයි. ආධ්‍යාත්මික ගුණ වගාවයි. බුදුන් වහන්සේ එදා දේශනා කළේ මිනිසුන් තුළ පවතින මේ තත්ත්වයම නොවේ ද?

 

ආයුර්වේදයට අනුව නිරෝගී සිරුරක්

සම දෝෂ: සම අග්නිශ්ච

සම ධාතුමල: ක්‍රියා

ප්‍රසන්න ආත්මේන්ද්‍රීය මන:

නම් වේ.

සම දෝෂ යනු වා, පිත්, සෙම් යන විඥානමය පදාර්ථයන් දොස් බවට පත් නොවී සම තත්ත්වයේ පැවතීමයි.

සම අග්නිශ්ච අවස්ථාවේදී අග්නිය යනු කුසගින්න පමණක් ම නොවේ. ගින්න එක්තරා ලෙසක ශක්තියකි. එය දහනය වීමෙන් එක්තරා අවස්ථාවකදී පමණක් කුසගින්න සෑදේ. සාමාන්‍ය ශරීරයක පරිවෘත්තීය ක්‍රියා නිවැරැදිව සිදුවන්නේ නම් මනා කුසගින්නක් ලැබේවි. උදේ, දිවා, රාත්‍රී ආහාර වේල් තුන ගැනීමට නියමිත වේලාවේදී කුසගින්නක් දැනේවි.

මල: ක්‍රියාවලදී මල පදාර්ථයන් නිවැරැදි විය යුතුයි. මෙහි මල යනු අප සාමාන්‍යයෙන් අදහස් කරන මලපහ පිටවීම පමණක් ම නොවේ. පරිවෘත්තීය ක්‍රියාවලියේදී බැහැරවන සියලුම දේ මල වේ. කෙස්, ලොම්, නිය පවා මල වේ. නියපොතු කැඩේ නම්, හිකෙස් අකලට කැඩේ නම් එයද කිසියම් සෞඛ්‍ය ගැටලුවකි.

ප්‍රසන්න ආත්මේන්ද්‍රීය

මන: යනු

කෙනෙක් දුටුවිට පවා ඇතිවිය හැකි ප්‍රසන්න බව හෙවත් නිවැරැදි බවයි. මේ සඳහා පංචේන්ද්‍රයන් ප්‍රසන්න විය විය යුතුයි. ඇස් පිනවීමට ඉල්ලන්නේ වැරැදි දර්ශන ම නම් ඒ ඉන්ද්‍රීයයන් අයහපත් ය. මේ සඳහා මානසික තත්ත්ව බෙහෙවින්ම සමබර විය යුතුයි. සමබරතාව මුල සිටම යහපත්ව පවත්වා ගෙන ගියේ නම් එහි සෞඛ්‍ය සංරක්ෂණය උපරිමව ගැබ්ව තිබේ.

සෘතුභේද, කාල භේදවලට අනුව යමින් අපේ දිනචර්යාව පවත්වා ගැනීම අතිශය වැදගත් වූවකි. සෞඛ්‍ය සංරක්ෂණවලට අනුව යමින් ජීවිතය පවත්වා ගැනීමට මනස සතුටින් තිබිය යුතුයි. අගනා දේ පමණක් ජීවිතයට ළඟා කරගත යුතුයි. අපි හිතමු චිත්‍රපටයක් නරඹනවා යැයි කියා. හැම විටම සිත ඉල්ලන්නේ ගහමරා ගන්නා දර්ශන ම නම්, ඕපාදූප සෙවීමටම සිත කියන්නේ නම් එය ප්‍රසන්න ආත්මේන්ද්‍රීය සිතට විරුද්ධ වූවකි.

 

ලබන සතියේ

ස්වස්ථතාව පවත්වා ගැනීමට දෛනිකව කළ හැකිදේ

 

උපදෙස්: ආයුර්වේද වෛද්‍ය ,

ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක

කමල් එස්.ජයසේකර

 

 

2020/06/08 තරුණි බලන්න.