ශරීරයෙන් දහඩිය දුගඳ හමන්නේ ඇයි?

ජුනි 24, 2020

ප්‍රශ්නය

මම 23 හැවිරිදි තරුණියක්මි. මම පෙනුමෙන් සුදරය. ඒ බව බොහෝ දෙනා මා හට පවසා ඇත. නමුත් මෑතක දී සිට මට අධිකව දහඩිය දමන නිසා ශරීරයෙන් දුගධක් හමයි. ඩියෝඩ්‍රන් ආලේප කිරීමෙන් ලැබෙන්නේ තාවකාලික ප්‍රතිඵලයක් පමණයි. කළ යුත්තේ කුමක් ද? නිතර නිතර ඩියෝඩ්‍රන් පාවිච්චි කිරීම සුදුසු ද?

මැල්සිරිපුර - සජානී

 

පිළිතුර

කාන්තා පිරිමි කියලා භේදයක් නැතුව ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටලුවකි මෙය. රස්නේ නිසා අධික ලෙස දහඩිය දැමීම සාමාන්‍ය දෙයක්.  දහඩිය අධික දුර්ගන්ධයෙන් යුක්ත වීම නිසා ඔබට වගේම වටපිටාවේ ඉන්න අය පවා පීඩාවට පත් විය හැකියි. සමහර අවස්ථාවට මේ දුර්ගන්ධය අපිට දැනෙන්නේත් නැහැ, ඒත් අපි අවට ඉන්න අයට දැනෙනවා.

දහඩිය දැමීම සාමාන්‍ය ශාරීරික කාර්යයක් වන අතර එය උෂ්ණත්වය පාලන​ය කිරීමට සහ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට හේතුවනවා. ස්වාභාවිකවම ගන්ධ රහිත දහඩිය සම මත ජීවත්වන බැක්ටීරියා සමඟ ස්පර්ශ වූ විට පමණක් සුවිශේෂී දුර්ගන්ධයක් එක් කරනවා. 

ඔබගේ බර වැඩිවී ඇත් නම් 

ශරීරයේ දුර්ගන්ධය ඇති වන්නේ ශරීරයේ තෙතමනය සහිත ප්‍රදේශවල ජීවත් වන බැක්ටීරියා නිසායි. ඔබගේ ශරීරය සෞඛ්‍ය සම්පන්න බර ඉක්මවා ඇත්නම්, සම තුළ නැමුම් ඇතිවී දහඩිය රඳවා තබා ගත හැකි අතර එය බැක්ටීරියා වර්ධනය වීමට සුදුසු පරිසරයක් වනවා.

ඔබ කන කෑම අනුව දහඩියවල ගන්ධය තීරණය වෙනවා. සුදුලූනු සහ ලූනු වැනි ආහාර ඔයාගේ මුඛයෙන් පිටවන ප්‍රාශ්වාසයට ගන්ධයක් එක් කරනවා විතරක් නෙමෙයි, ශරීරයෙන් ගන්ධයන් පිට කරන්නටත් හේතු වෙනවා. අධික කුළුබඩු සහිත ආහාර ගත් විට ශරීරයෙන් සල්ෆර් වැනි සංයෝග නිකුත් කරනවා. මෙම සංයෝග සම හරහා විනිවිද ගොස් දහඩිය සමඟ ප්‍රතික්‍රියා කර ගන්ධය වැඩි කරනවා.

ඔබගේ ශරීරයෙන් පිට වන දුර්ගන්ධයට හේතුව ඔබ ආහාරයට ගත් හරිත පැහැති එළවළු වෙන්න පුළුවන්. කුළුබඩු මෙන්ම සමහර හරිත එළවළු එනම් ගෝවා, වට්ටක්කා, බ්රොකොලි වල සල්ෆර් අඩංගු වෙනවා. නමුත් මෙය ඔබගේ ශරීරය සෞඛ්‍ය සම්පන්න කරනවා. එ නිසා අත්හැර දමන්න එපා. විශාල වශයෙන් ආහාරයට ගැනීම අඩු කරන්න.

ඔබ ඖෂධ භාවිත කරනවා නම් 

දියවැඩියාව සහ තයිරොයිඩ් වැනි ඇතැම් රෝගාබාධ නිසා කෙනෙකුට වැඩිපුර දහඩිය දමන්න පුළුවන්. ඔබට දුර්ගන්ධය දැනෙනවා නම් ඔබ ලබාගන්නා ඖෂධද ඊට හේතුවක් වෙනවා. කොහොම වුණත් ඔබගේ ශරීරයේ දුර්ගන්ධයේ  අමුතු වෙනසක් දැනුනොත්, එය වකුගඩු හෝ අක්මාව සම්බන්ධ ගැටලු වල ලකුණක් වන්නටත් හැකියි. මෙය වෛද්‍යවරයෙකුගේ අවධානයට යොමු කිරීම වඩාත් සුදුසුයි.

ඔබ මානසික ආතතිය හා කාංසාව වැනි හැඟීම් අත්විඳීන විට අධික ලෙස දහඩිය දමනවා.  මෙම ග්‍රන්ථිය මගින් අප්‍රසන්න ගන්ධයක් ඇති කරනවා.

දහඩිය පාලනය කිරීමට අත් යට ඩියෝඩ්‍රන් ගැල්වීම සුදුසුය. නමුත් ස්වභාවික සංයෝගවලින් සැකසු ආලේපන පාවිච්චි කිරීම වඩා සුදුසුයි. මක් නිසාද නිතර නිතර ඩියෝඩ්‍රන් ගැල්වීමෙන් අසාත්මිකතා ඇතිවිය හැකි නිසයි. ඒ වගේ මෘදු ස්වඳකින් යුත් සුවද විලවුන් වර්ගයක් නිතර ලඟ තාබා ගන්න.

නිතර ඇඟ නිවෙන ආහාර පාන ලබා ගන්න. බෙලිමල්, රණවරා සව් වැනි පානයන් නිතර පානය කරන්න. දිනකට ලීටර් තුනක් පමණවත් ජලය පානය කරන්න. ශරීර අභ්‍යන්තරයට ප්‍රතිකාර කිරීමෙනුයි මේ තත්ත්වය නිට්ටාවටම පාලනය කර හැකි වන්නේ. සුවයක් නොමැති නම් වෛද්‍ය සහය ලබා ගැනීම සුදුසුයි.

 

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර