සමේ රැලි වැටීම අවම කර ගන්නේ කොහොම ද?

අගෝස්තු 5, 2020

ප්‍රශ්නය

38 හැවිරිදි මාගේ මුහුණේ සම වියළි බවකින්‍ යුතුයි. නිතර මුහුණේ සම, හම යන නිසා බේබි ක්‍රීම් ආලේප කරමි. මුහුණේ රැලි ස්වභාවයක් ද දක්නට ඇත. මෙයට ප්‍රතිකාරයක් තිබේ ද?

අඟුලාන - කාංචනා

 

පිළිතුර

සමේ තෙතමනය අහිමි වී යාමත් සමඟ ඇතිවෙන වියළිබව ඔබේ මුහුණේ වගේම මුළු සිරුරම රැලි වැටෙන්න හේතුවක් වෙනවා. තරුණ වයසේදී ම මේ තත්ත්වය ඇති වුණොත් ඔබේ සැබෑ වයසටත් වඩා ඉක්මනින් ඔබේ පෙනුමට වයස්ගත බවක් එක් වෙනවා. වයස අවුරුදු 30 පසු වූ විට සමෙහි රැලි වැටීමට මූලික හේතුව සමේ කොලජන් නිෂ්පාදන අඩු වීමයි. එවිට සමට අවශ්‍ය කොලජන් පිටතින් ලබා ගැනීමෙන් මේ තත්ත්වය පාලනයකර ගත හැකියි.

ඔලිව් තෙල් කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න තියෙන හොඳම විසඳුමක්. සමේ රැලි වැටීම්වලටත් හොඳ ප්‍රතිකාරයක්. ඔලිව් තෙල් සමඟ මී පැණි මිශ්‍ර කර ආලේප කිරීමෙන් ඇස් වටා සහ නළල මත ඇති රැලි වැටීම් ඉවත් කර ගත හැකියි. එහෙත් ඔලිව් තෙල් ආලේප කිරීමෙන් පසු අව්වට යන්න එපා. අව්වට යාමෙන් සම කළු වෙනවා.

උළුහාල් තේ හැඳී 2-3 හොඳීන් කුඩුකර වතුර සමඟ මිශ්‍රකර මුහුණේ ආලේපකර විනාඩි 20 ට පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

වියළි සමට කෝමාරිකා තරම් සුදුසු වෙනත් ප්‍රතිකාරයක් නැති තරම්. කෝමාරිකා මදය සුරා ගෙන වතුරට අල්ලා සෝදා ගන්න. එය පොඩි කර මුහුණෙහි ආලේප කර විනාඩි 15-20 කට පසු මඳ උණුසුම් වතුරෙන් සෝදා හැරීමෙන් මුහුණේ වියළි බව, රැලි අවම කරගන්න පුළුවන්. මේ සත්කාරය මුළු සිරුරටම වුණත් කළ හැකියි.

රාත්‍රී නින්දට පෙර ආමන්ඩ් තෙල් ස්වල්පයක් මුහුණේ ආලේප කිරීමෙන් ද සම අලුත් කරවයි. තව ද සමේ තෙතමනය ආරක්ෂා කරයි. එසේම සම රැලි වැටීම වළක්වා ගන්න පුළුවන්.

කැරට් යුෂ සමඟ මී පැණි ආලේප කිරීමෙන් මුහුණේ ඇති රැලි හා රැලි වැටීම් නිසා ඇති වූ ඉරි අවම කර ගන්න පුළුවන්.

කොමඩු කියන්නෙත් සිරුර සිසිල් කරවන ආහාරයක්.  ඒ වගේම බොහොමයක් රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නා අමු ද්‍රව්‍යක්. කොමඩු යුෂ තේ හැඳී 3කට මී පැණි හා ලෙමන් යුෂ බිංදු කිහිපයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 කින් ඉවත් කරන්න.

සතියකට දෙතුන් වරක් මේ සත්කාරවලින් දෙකක් වත් කර බලන්න. එමඟින් ඉක්මනින්ම සමේ වියළි බව අවම කර ගන්නත් රැලි වැටීම් මඟහරවා ගන්නත් පුළුවන්.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

තිරාණි පීරිස්

 

2020/08/05 තරුණි පුවත්පත බලන්න.