දෙපාවල කළු පැහැ ඩොට්

අගෝස්තු 12, 2020

 

ප්‍රශ්නය

25 හැවිරිදි මා නර්තන ශිල්පිනියකි. දෙපා පැහැපත්ව අලංකාරව තබා ගැනීමට අවශ්‍ය නිසාම සතියකට වරක් දේපාවල රෝම ඉවත් කරමි. දැන් දෙපාවල තැනින් තැන කළු පැහැ ඩොට් මතු වි ඇත. එසේ වන්නේ මා නිතර රෝම ඉවත් කරන නිසා ද? මෙයට කළ යුත්තේ කුමක් ද?

නාවින්න - සමදරා

 

පිළිතුර

දෙපාවල රෝම ඉවත් කළ පසු සමේ ඇතිවන අඳුරු පැහැ කුඩා තිත් නිසා අපේ සමට අවලස්සන පෙනුමක් එක් වෙනවා. මේ තත්ත්වය බොහෝ විට ඇති වන්නේ රේසර් භාවිතයෙන් රෝම ඉවතකළ විටයි. ස්ට්‍රෝබෙරි ස්කින් (strawberry skin) කියා හඳුන්වන්නෙත් මේ කළු ඩොට්ය. ඔබගේ සම අමතර කැරොටීන් නිපදවීම නිසා රෝම කූ​ප අවහිර වීමෙන් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සම පමණට වඩා වියළීමෙන් අපිචර්මය​ට හානිවීම නිසා ෂේව් කිරීමෙන් පසු සම කසන්න පුළුවන්. එයත් ස්ට්‍රෝබෙරි ස්කින් එකක් ඇතිවෙන්න හේතුවක්.

ෂේව් කිරීමෙන් පස්සෙ සම තුළට කාවැදී වැඩෙන රෝම නිසා රෝම කූප ආසාදනය වූ විට්ත් මේ තත්ත්වය ඇතිවිය හැකියි. එසේ ආසාදනය වීමෙන් ඇතිවෙන බැක්ටීරියා නිසා සම මත කළු පැල්ලම් ඇතිවෙනවා. මෙවැනි සමකට ප්‍රතිකාර කිරීමට පෙර මැරුණු සම ඉවත්කළ යුතුයි. මැරුණ සම ඉවත් කිරීම මඟින් සම මත වර්ධනය වෙන බැක්‍ටීරියා ඉවත් කරන්නත් සමට කාවදින රෝම ගලවා දැමීමටත් උපකාර වෙනවා.

ඒ සඳහා රතු සීනි කප් 1/2ක්, ඔලිව් තෙල් කප් 1/2ක් සහ කරාබු නැටි තෙල් බින්දු තුන හතරක් මිශ්‍රකර පේස්ට් එකක් සකසා ගන්න. ඉන්පසු මේ පේස්ට් එක සම මත ආලේප කර රවුමට කරකවමින් ඇඟිලිවලින් පිරිමදින්න. සිසිල් වතුරෙන් සෝදා හරින්න.

සම සුවපත් කරන අපූරු සිසිල්කාරක ගුණයකින් කෝමාරිකා සමන්විතයි. සම පෝ​ෂණය කරනවා වගේම සමේ තෙතමනය රඳවාගන්න කෝමාරිකා සමත්. ඒ නිසා කෝමාරිකා මදය පොඩිකර සම මත ආලේප කර විනාඩි 10ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. කෝමාරිකා සත්කාරය දිනපතා වුවත් කළ හැකියි.

එහෙම නැත්තම් කෝපි සත්කාරය කළ හැකියි. කෝපිවලින් සම සුවපත් කරයි. මේ කෝපි සත්කාරයෙන් හානි වූ සමට සහනයක් ලබාදෙනවා. කෝපි කුඩු කප් 1/2ක්, සීනි කප් 1/2ක් සහ පොල්තෙල් කප් 1/4ක් ගෙන හොඳීන් මිශ්‍රකර ගන්න. මෙයත් සමේ අලේපකර රවුමට සම්බාහනය කරන්න. සතියකට දෙවරක් කිරීම ප්‍රමාණවත්.

මේවාට අමතරව දිනකට අවශ්‍ය තරම් ජලය පානය කරන්න. දිනපතා සමට මොයිස්චරයිසර් ක්‍රිම් ගල්වන්න. පෝ​ෂණීය සමබර ආහාර වේලක් ලබාගන්න. රෝම ෂේව් නොකර වැක්ස් කිරීම වැනි රෝම ඉවත් කිරීමේ වෙනත් ක්‍රමයක් භාවිත කරන්න. එමඟින්ඹඹඑ ස්ට්‍රෝබෙරි ස්කින් තත්ත්වය ඇතිවීම වළක්වගන්න පුළුවන්.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

මානෙල් කොටුවේගොඩ

 

2020/08/12 තරුණි පුවත්පත බලන්න