සරල මේක්-අප් එකක් දමා ගන්නට...

ඔක්තෝබර් 14, 2020

ප්‍රශ්නය - 24 හැවිරිදි මා පුද්ගලික ආයතනයක සේවය කරමි. කාර්යාලයට සුදුසු පරිදි මේක්-අප් එකක් දමා ගන්නේ කොහොමද? ඒ පිළිබඳ සරලව පහදා දෙන්න.

නාවින්න - සුමුදු

පිළිතුර - මුහුණට මේක්-අප් එක දැමීමට පෙර මුහුණ හොඳින් පිරිසුදු කරගත යුතුයි. ඒ සඳහා ෆේස් වොෂ් භාවිත කරන්න.

ඉන්පසු හොඳින් තෙත මාත්තු කර ගත් මුහුණේ ක්ලෙන්සර් ක්‍රීම් ස්වල්පයක් තවරා ගන්න. මේ තැවරීම කරන්න ඕනේ පිරිසුදු පුළුන් කැබැල්ලකින්. ඉන් පසු උඩු අතට පුළුන් කැබැල්ලකින්ම පිරිමදින්න. මෙමඟින් මුහුණේ සිදුරු තුළට කා වැදී තිබෙන අපද්‍රව්‍ය පවා ඉවත්කර ගත හැකියි.

ඉන්පසුව පුළුන් කැබැල්ලක් ආධාරයෙන් මුහුණේ උඩු අතට ටෝනර් ගල්වන්න. ඒ මඟින් මුහුණේ ඇරී ඇති රෝම කූප වැසී සම සිනිඳු කරවනවා.

මීළඟට මුහුණේ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ගල්වන්න. මෙහි අරමුණ වන්නේ මේක්-අප් ගල්වා තිබෙන කාලය අතරතුරදී මුහුණේ තෙතමනය රඳවා ගැනීමයි.

ඉන්පසු ෆවුන්ඩේෂන් ක්‍රීම් ආලේප කර ගත යුතුයි. ඔබේ සමේ වර්ණයට ගැළපෙන සේ මෙය තෝරා ගන්න. මේ ක්‍රීම් වර්ගය ආලේප කිරීමෙන් සමට ආරක්ෂාව ලැබෙන අතර මුහුණේ සෑම ස්ථානයක්ම එකම වර්ණයකින් දිස්වීමට හේතු වේ.

දැන් ස්පොන්ජ් එකක් ආධාරයෙන් ෆවුන්ඩේෂන් මත පවුඩර් ගල්වා ගන්න. මේවා තැවරිය යුත්තේ තුනී ලෙසයි. රෝස් පවුඩර් ආලේප කළ යුත්තේ තරමක මහත බුරුසුවකිනි.

ඇස් හැඩ කරගන්නට අයි බ්‍රෝ පෙන්සිල් එකකින් සිහින් ඉරි ලෙස ලස්සනට ඇඳ ගන්න. අවසානයේ අයි ලයිනර් එකකින් ඇහි බැම මත සිහින් කළු ඉරකින් මායිම ඇඳගන්න.

මීළඟට ඇහි බැමට පහළින් අයි ෂැඩෝ ආලේප කර ගත යුතුයි. මෙය ආලෙප කිරිමෙදී ඇඳුමේ වර්ණය, දවසේ වෙලාව, සමේ වර්ණය, වයස සහ ඇසේ හැඩය ආදී කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.

අවසානයේ ඇහි පිහාටු මත මස්කාරා ආලේප කළ යුතුයි. එයින් ඇහි පිහාටු සුන්දරව දිස් වේ. මීළඟට කළ යුත්තේ දෙතොල් හැඩ කර ගැනීමයි. දෙතොල්වල මායිම ලිප් ලයිනර් එකකින් ඇඳ ගන්න. මේ මඟින් දෙතොලේ හැඩය කුඩා කර හෝ විශාල කර ඇඳ ගැනීමට ඔබට හැකියි.

ඉන් පසුව තොල් ආලේපන, ලිප් බ්‍රෂ් එකක් ආධාරයෙන් ආලේප කර ගත යුතුයි. මීළඟට දෙතොල්වලට මඳ දිස්නයක් එක් කර ගැනීම සඳහා ලිප් ග්ලොස් එකක් ආලේප කර ගන්න. මෙලෙස ඔබට සරල මේක්-අප් එකක් පහසුවෙන් දමාගත හැකියි.

 

උපදෙස් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නීශා මනහාරි

 

 

2020/10/14 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.