සැනිටයිසර් නිසා වියළෙන දෑතට...

ජනවාරි 13, 2021

රුව ගැන සැලකිලිමත් වීම කාන්තාවක විසින් කළ යුතු ම දෙයකි. මෙය ප්‍රමාණය ඉක්මවා නොව, තමාගේ පවතින රුව රැක ගැනීම සඳහා ක්‍රියා කළ යුතුය. කාන්තාවකගේ වයස ගැන කියැවෙන එක් සාධකයක් වන්නේ ද දෑතයි.

කාන්තාවක සතු දෑත බොහෝ විට ජලය, සබන් හා ගැටීම සාමාන්‍ය දෙයකි. එය දැන් පවතින වසංගත තත්ත්වය සමඟින් තවත් දෙතුන් ගුණයකින් වැඩි වී ඇත. නිතර නිතර දෑත් සබන් යොදා සේදීමත්, විසබීජ හරණය කරන සේදුම්කාරක දියර භාවිතයත් නිසා දෑත් වෙනදාටත් වඩා වියළි ස්වභාවක් ගෙන ඇති බව ඔබටත් වැටහී ඇති.

අත්ලේ වියළි බව ඇතැම් විට ගැටලුකාරී තත්ත්වයන් ඇති කරනවා.

සබන් හා විසබීජ නාශක දියරවල(සැනිටයිසර්) ඇති රසායනික ද්‍රව්‍ය නිසා අත්වල සම වියළීමට ලක් වේ.

නිතර නිතර අත් පිරිසුදු කිරීම අනිවාර්යය අංගයක් වී ඇති නිසා අප අත්වල වියළි බව දුරු කිරීමට යමක් සිදු කළ යුතුමයි.

යම් කිසි දෙයක් ඇල්ලීමේ දී ඒවා අතින් ලිස්සා යාම, පොත්පත්, ලිපි ලේඛනවල පිටු පෙරලීමේ අපහසුව, අත්ලට රළු ස්වභාවක් දැනීම මේ අතරින් විශේෂයි.

මේ අපහසුතා වළක්වා ගැනීමටත් අත්වල සම වියළීමෙන් තොරව රැක ගැනීමටත් අප ක්‍රියා කළ යුතුය.

මේ සඳහා මොයිස්චර්රයිසර් ක්‍රීම් එකක් හෝ හෑන්ඩ් ක්‍රීම් එකක් භාවිත කිරීම ඉතාමත් සුදුසුය.

අත් පිරිසුදු කරන හැම වාරයක දී ම සුදුසු ක්‍රීම් වර්ගයක් අත්වල ආලේප කිරීම මඟින් දෑත් දැඩි ලෙස වියළීම වළක්වා ගැනීමට ඔබට පුළුවන්.

නිවෙසේ දී මෙන්ම රැකියාවට යාමේ දී ද මෙවැනි හෑන්ඩ් ක්‍රීම් එකක් භාවිත කිරීමට පුරුදු වන්න.

විසබීජ නාශක දියරයක් තමාගේ ගමන් මල්ලේ දමාගෙන යාමට අද වන විට ගැහැනු පිරිමි හැම කෙනෙක්ම පාහේ පුරුදු වී ඇති සේ ම, අත්වල වියළි බව දුරළීමට ආලේප කළ හැකි හෑන්ඩ් ක්‍රීම් හෝ මොයිස්චර්රයිසර් ක්‍රීම් එකක් ද ගමන් මල්ලේ තබා ගැනීමට අමතක කරන්න එපා.