සාප්පු සවාරිය පරිස්සමෙන්

සෞඛ්‍ය නීති රීති අකුරටම පිළිපදින්න
අප්‍රේල් 7, 2021

 

මේ එළැඹ තිබෙන්නේ අපේ රටේ වසරේ ලස්සනම කාලවකවානුවයි. ගස්වැල් මලින් ඵලින් පිරෙන සොඳුරු වසන්තයයි.

වසන්ත සැණකෙළිය සමරන්නට ද අපි මහත් බලාපොරොත්තුවකින් හිඳින බව සැබවි. නමුදු අද උදාවී ඇති තත්ත්වයත් සමඟ වසන්තය සැමරීමේ දී අපි පරිස්සමට මුල් තැන දිය යුතු වෙමු. සෞඛ්‍ය නීති රීති අකුරටම පිළිපැදිය යුතු වෙමු.

කොරෝනා දෙවැනි රැල්ල නොසිතූ ලෙස ව්‍යාප්ත වීමත් සමඟ අපේ ජන ජීවිතය නැවතත් සම්පූර්ණයෙන්ම අඩාල විය. මේ එය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන කාලයයි. මේ කාලයේ අපි සෞඛ්‍ය නීති අමතක කළොත් කොරෝනා තෙවැනි රැල්ලක් මතුවිය හැකියි. අද අපේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වී ඇත. බොහෝ දෙනකුට ආදායම් මාර්ග අහිමි වී ඇත. මේ දේවල් නො සිතාසෞඛ්‍ය නීති පිළි පදින්නේ නැතිව හිතූ හිතූ ලෙසින් සාප්පු සවාරි යන්නට වුවහොත් අප අතවනන්නේ අවදානමක් වෙතයි. ඒ නිසා මේ තත්ත්වය පාලනය කළ හැක්කේ ඔබටයි. ඒ නිසා මෙදා සැරේ සාප්පු සවාරිය පරෙස්සමට කළ යුතු දෙයකි.

කොරෝනා ආරම්භයත් සමඟ පසුගිය අලුත් අවුරුද්ද සැමරීම අමතක කර දමන්නට සිදු විය. ඒ නිසාම මේ අලුත් අවුරුද්ද ජයටම සමරන්න ඔබ දැන් දැන්ම සූදානම් වෙනවා ඇති. එහෙත් එය ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. පළමුව ගෙදරට ගෙන ආ යුතු දේවල් මොනවාදැයි සැලසුමක් සකසන්න. දෙවැනුව ඒවා මිලදී ගන්නේ කොහෙන්දැයි තීරණය කරන්න. කොරෝනාවලට පෙර අපි ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමේ දී විවිධ සාප්පු කරා ඇවිද ගියත් මෙදා සැරේ එලෙස විවිධ සාප්පුවලට යාම නොකරන්න. ඔබ සකස් කළ ලිස්ට් එකේ ඔන්ලයින් ක්‍රමයට ගෙන්වා ගත හැකි ඒවා තිබේදැයි බලන්න. එලෙස ගෙන්වා ගත හැකි දේවල් තිබේ නම් ඔන්ලයින් ක්‍රමයට ගෙන්වා ගන්න.

ඇඳුම් ගන්න සාප්පු යනවා නම් දැන්ම යන්න. සෙනග වැඩිපුර ගැවසෙන වෙලාවල් මඟහැර යන්න. සාමාන්‍යයෙන් රත්‍රී කාලයේ එතරම් සෙනගක් නැති නිසා රාත්‍රී කාලය මේ සඳහා තෝරාගත හැකියි. එමෙන්ම අවුරුදු දවස් ළංවත්ම සෙනග අධික නිසා මුල් දිනවලම ඔබට අවශ්‍ය දේවල් මිලදී ගැනීමෙන් සෙනග ගොඩේ ගැවසීමට සිදු නොවේ. නැතිනම් අවුරුදු දවස් පසුවී ගිහින් ඇඳුම් ගන්න.

මරණීය අවදානමත් සමඟ සෙනඟ ගැවසෙන මේ සාප්පු සවාරිය අමතක කරන්නට හැකි නම් එය ද ඔබේ ආරක්ෂාව තහවුරු කරන්නකි. අවුරුදු කාලෙට සාප්පු සවාරි සඳහා සෙනඟ ඇදෙන්නේ පෝලිම් ලෙසය. ඒත් විවිධ පුද්ගලයන්ය. ඔවුන් පැමිණෙන්නේ ද විවිධ පැතිවලිනි. එවැනි පරිසරයක කොරෝනා පැතිරීමට ඇති ඉඩකඩ බොහෝය. සමහර ආසාදිතයන් තමන්ට කොරෝනා තිබෙනබව දන්නේ ද නැත. සමහරු උණට පෙනඩෝල් දෙකක් බී උණ බස්සවාගත් අය ද විය හැකියි. ඒ නිසා අපිට සාප්පු සවාරි ආරක්ෂිත යැයි කිසිදු සහතියක් දිය නොහැකියි.

සමහරවිට මේ දවස්වල බොහෝ මිල අඩුකිරීම් තිබෙනවා විය හැකියි. එය ඔබට වාසිදායක තත්ත්වයක් යැයි හැඟෙනවා ඇත. එලෙස සිතන්න එපා. ඒ සමඟම සිතන්න "මොනතරම් මිල අඩු වුවත් මා මේ යන්නට සූදානම් වන්නේ මරණය අතට ලැබිය හැකි තත්ත්වයක සිටින අවස්ථාවකබව." ඒ නිසා සෙනග බෙහෙවින් රැස් වී පොරකකා මිල දී ගන්නා ස්ථාන මඟහැර යන්න. එවැනි ස්ථාන වෙත කොහෙත්ම යන්නට එපා.

සාප්පු සවාරියේ යෙදෙන විට දෑත්වලින් මුහුණ, මුඛය, නාසය අල්ලන්න එපා. සාප්පු වෙත ඇතුළුවීමේ දී අනිවාර්යයෙන්ම දෑත් සබන් යොදා සෝදාගෙන ඇතුළු වන්න. බොහෝදෙනෙක් ඇතුළුවීමේ දී දෑත් සේදුව ද පිටවීමේ දෑ දෑත් සෝදන්නේ නැත. එහෙත් සාප්පුවට ඇතුළුවීමේ දී ම එහි දොර අල්ලයි. ඉන්පසු ඇඳුම්, පැලඳුම් ආදිය අතගා බලයි. සමහරවිට පඩිපෙළ නැගීමේ දී එහි ආධාරකය අල්ලයි. විදුලි සෝපානයක යන්නේ නම් එහි යතුරු පුවරුව අල්ලයි. මේ දේවල් එතැනට එන හැමෝම අල්ලන දේවල්ය. ඒ නිසා ඔබ පිටව එන්නේ සමහරවිට ඇතුළට යනකොට තිබුණාටත් වඩා විසබීජ ගොඩකි. මේ නිසා අනිවාර්යයෙන්ම සාප්පුවෙන් එළියට ආ විගස නැවත සබන් යොදා දෑත් සෝදාගන්නට පුරුදු වෙන්න. මෙය කරන්නේ ඔබේ මෙන්ම ඔබේ සමීපතයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව සිතට ගන්න.

ඔබේ බෑගයේ විසබීජනාෂක දියරයක් සහිත කුඩා බෝතලයක් තබාගන්න. එමඟින් දෑත් නිතර පිරිසුදු කරගන්න. දෑතට රබර් ග්ලවුස් දෙකක් දමාගෙන යාමටත් හැකියි. එවැනි අත්වැසුම් දෙකක් රුපියල් 5 - 10 ක් වැනි මිලකට ලබාගන්නට හැකියි. එමෙන්ම පේපර් ටිෂූ තබාගන්න. තැන තැන කෙළ ගසන්නත් එපා. ඇඳගෙන ගිය ඇඳුම් නිවෙසට ආ විගස සෝදා දමන්න. එය සෝදන්නට කල් යවන්න එපා. ආ විගස මුහුණ, ඇඟ සෝදන්න. නැතිනම් නාගන්න. අස් කණ්ණාඩි කුට්ටම, ආභරණ ආදිය ද හොඳින් සෝදා වතුර පිසදමාගන්න. පාවහන් සෝදා මිස නිවෙසට ගන්න එපා.

කුඩා දරුවන් සාප්පු වෙත රැගෙන යාමෙන් වළකින්න. වැඩුණු දරුවන් වුවද නිවෙසේ දමා යාම ආරක්ෂිතයි. රංචු ගැසී සාප්පු පවාරි යාම ද නොකළ යුතුයි. තනිව හෝ තවත් එක් අයෙක් පමණක් රැගෙන යන්න. ගෙන ආ යුතු දේවල් ලිස්ට් එකක් පළමුව සාදාගත් නිසා ඒ අනුව මිලදී ගැනීම් කර සාප්පුවෙන් හැකි ඉක්මනින් එළියට එන්න. එතුළ බොහෝ වේලාවක් ගැවසෙන්න එපා.

අපේ සිංහල අවුරුද්දේ විශේෂත්වයක් වන්නේ සමීපතයන්ට ඇඳුම් පැලඳුම් තෑගි ලෙසින් පිරිනැමීමයි. හැමෝටම ගැළපෙන ලෙස ඇඳුම් මිලදී ගැනීමට සෑහෙන වේලාවක් සාප්පු සවාරියේ යෙදෙන්න සිදුවේ. එහෙත් මේ තෑගි සඳහා ඇඳුම් වෙනුවට පොත්පත් තෑගි දිය හැකියි. පොත්පත් ඔන්ලයින් ක්‍රමයට ගෙන්වා ගත හැකි නිසා අවුරුදු තෑගිවල වෙනසක් කිරීමට ඔබට පුළුවන්.

ඒ වගේම අපේ දූදරුවන් මාපියන් සහ අනෙකුත් හිතවතුන් මේ දවස්වල තමන්ට ලැබෙන තෑගි භෝග ගැනත් හිතනවා ඇති. ඒ සිතුවිල්ලට ද තිත තබන්න. "මේ අවුරුද්දේ නම් මට තෑගි එපා. ඊට වඩා ජීවිතේ වටිනවා. අම්මා ෂොපිං යන්න එපා. දුව ෂොපිං යන්න එපා. අපි හොඳින් ජීවත් වුණෝතින් කොරෝනා සම්පූර්ණයෙන්ම අවසන් වූ විට ඇඳුම් ගන්න පුළුවන්. ඒ හින්දා තෑගි ගැන හිතන්න එපා" යැයි ඔබේ සමීපතයන්ට පවසන්න.