ඇහිබැමි ලස්සන කරමු

රුවයි ඔබයි
ඔක්තෝබර් 13, 2021

ෙදබැම ළඳකගේ සුන්දරත්වය කියාපාන එක් අංගයක්. ඒත් කාන්තාවන්ට තිබෙන ප්‍රබලම ප්‍රශ්නයක් වන්නේ අනවශ්‍ය රෝම වර්ධනය වීමයි. අත් යට දැත් දෙපාවල මුහුණපුරා අනවශ්‍ය විදිහට රෝම වර්ධනය වීමෙන් කාන්තාවන්ගේ රුවට ගෙන දෙන්නේ අවලස්සනක්. ඔබටත් මේ ප්‍රශ්නය තියෙනවා වෙන්න පුළුවන්.

ශරීරය ගොඩක් තැන් අපිට ආවරණය කරගෙන අවලස්සන වසාගන්න පුළුවන් වුණත්, මුහුණ වහගෙන ඉන්න පුළුවන් කමක් නෑ. අපි මේ දවස්වල මුව ආවරණ භාවිත කරන නිසා අප දිහා බලන කෙනකුට අපේ ඇස්වලට අවධානය නිතැතින්ම යොමු වෙනවා. ඒ නිසා ඔබේ දෑස් ඉතා අලංකාරව ලස්සනට තබා ගැනීමට මේ කාලයේදී අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා.

ඔබේ ඇහි බැමි දෙක ලස්සනට සකසා ගන්නේ කොහොමද කියලා අපි විමසා බලමු.

පුද්ගලාගෙන් පුද්ගලයාට වෙනස් වෙන මුහුණේ හැඩය අනුව ඒ ඒ පුද්ගලයාට සකස් කළ යුතු ඇහිබැමවල හැඩය වෙනස් වෙනවා.සමාජ දුරස්ථභාවය ඇති කරමින් නිවෙස් තුළ නිරෝධායනය වෙමින් සිටින ඔබට වෙනදා වගේ ඇහිබැම හදන්න රූපලාවන්‍යාගාරයකට යන්න බැහැ. එහෙම යන්න ගියත් එය ආරක්ෂිත භාවය ගැන ඔබට ඉන්න වෙන්නේ අවදානමක් අරගෙන.

නමුත් ඇහිබැම නිසි ලෙස සකස් නොකළොත් පෙනුම ගැන ඔබම වද වේවි නේද?

බොහෝ විට මේ සඳහා භාවිත කරන්නේ threading ක්‍රමයයි. මේ ක්‍රමය අනෙක් ක්‍රමවලට සාපේක්ෂව සෞඛ්‍යය ආරක්ෂිතයි.

එහෙනම් නිවෙසේ ඉන්න ගමන් අපිම අපේ ඇහිබැම සකස ගමු. මේ කාර්යයට අවතීරණ වීමට පෙර ඔබේ දෑත් සබන් දා සෝදන්න. ඒ සඳහා අවශ්‍ය උපකරණ පිරිසිදු කරගන්න.ඔබේ සමට ගැළපෙන ටෝනර් හා මොයිස්චර්යිසර් එකක් තොරා ගන්න. ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්.

 

පියවර 1

 

ඇහි බැමි ඉතා ‌කෙටි වු විට ඔබට සකස් කරන්න අසීරූ ‌වේවි. ඇහිබැමි හොඳින් වැවෙන්න දෙන්න

සාමාන්‍ය පුද්ගලයකුගේ ඇහිබැමවල වර්ධන චක්‍රය සති හතරක් හෝ අටක් වෙනවා.

 

පියවර 2

 

ඒ සඳහා ඔබ පහත උපකරණ කිහිපයක් සුදානම් කරගන්න. ‌මේවා ඉතා පිරිසුදු තත්ත්වයෙන් පවත්වා ගත යුතුයි.

 

ක්ලෙන්සර්

ටෝනර් /අයිස් හා පුළුන්

ෆේස් ක්‍රීම්

ටුයිසර් එකක්

කතුරක්

අයි බ්‍රෝ පෙන්සිල් හා අයි බ්‍රෝ බ්‍රෂ් එකක්

පියවර 3

* ඔබට කැඩපතකින් බැලු පමණනින් ඔබේ ඇහිබැම ගැන නිවැරැදි අදහසක් ගන්න බැරි වෙන්න පුළුවන්.

* ඔබේ ඇහිබැමවල සමීප ඡායාරූපයක් ගෙන එය සකස් විය යුතු ආකාරය ගැන අදහසක් මවාගන්න.

* අයි බ්‍රෝ බ්‍රෂ් එකකින් ඔබගේ ඇහි බැමි උඩු අතට පීරා ගනිමින් ඔබට ගැළපෙන ස්වභාවික හැඩය හඳුනාගන්න.

* ඉන් පසු අයි බ්‍රෝ පෙන්සිල් එකක් ආධාරයෙන් ඔබට අවශ්‍ය ඇහි බැමි හැඩය සලකුණු කරගන්න. එසේ නොමැති නම් ගෙදර ඇති නූලකට වර්ණවත් lipstick colour එකක් ආලේප කර එම නූල ඔබට අවශ්‍ය හැඩේට ඇහිබැමි මත තද කිරීමෙන් ඔබට අවශ්‍ය හැඩය ඇඳගන්න පුළුවන්.

ඇහි බැමි නිවැරැදිව ඉවත් කරන්න එය ඔබට පහසු කරාවි.

 

පියවර 4

 

ක්ලෙන්සර් එකක් භාවිතකර ඔබේ සම මෘදු කරගන්න.

නුලක ආධාරයෙන් මැදඟිල්ල සහ දබරඟිල්ල උපයෝගී කරගෙන ඇස වටා ඇති සමේ රෝම ඉවත් කරගැනීමට ද පුළුවන්.

නමුත් ඔබට ඒ සඳහා පළපුරුද්දක් නැතිනම් ටුවිසරය භාවිත කිරීම ආරක්ෂාකාරි වෙනවා.

ටුවිසරයක් ආධාරයෙන් ඇහිබැමි අතර ඇති අනවශ්‍ය රෝම යටින් ඉවත් කරන්න පටන් ගන්න.

රෝම ඉවත් කළ යුත්තේ රෝම වැවී ඇති දිශාවට විරුද්ධ දිශාවට ඇදීම තුළිනුයි. ඔබේ ඇසට හා සමට අනතුරක් ‌නොවන පරිදි ටුවිසරය ප්‍රවේශමෙන් භාවිත කරන්න.

 

පියවර 5

රෝම ඉවත් කරගත් ප්‍රදේශය මත පුළුල් කෑල්ලකට ටෝනර් තබා ගන්න.

අයිස් වුවත් ඒ මත තබා ගැනීමෙන් ඔබට සහනයක් දැනේවි.

ඇහිබම ගැලවීමේ දී රතුවී ඉදිමී ඇති නම් ඒ වටා මොයිස්චර් ක්‍රීම් එකක් ආලේප කර හෙමින් මසාජ් කරන්න.

 

පියවර 6

ඉවත් නොකළ යුතු නමුත් කෙටි කළ යුතු ඇහිබැම පරීක්ෂා කිරීමට ඇහි බැම උඩට පීරන්න.

එවිට ‌කෙටි කළ යුතු ‌රෝම ඔබට පහසුවෙන් දැක ගන්න පුළුවන්.

ඉන්පසු කතුරක් ගෙන ප්‍රවේශමෙන් ඔබ සලකුණු කර ඇති ප්‍රමාණය ඉක්මවා යන දිගු ‌රෝම ‌කෙටි කරන්න.

 

පියවර 7

ඇහිබැම සකස් කරගැනීමෙන් පසු ඔබේ ඇහිබැම තුළ රෝම වැවී නැති තැන්, වැඩියෙන් කැපී ඇති තැන්, වැඩියෙන් රෝම ගැලවී ඇති තැන් අඩුපාඩු බොහෝ ඔබට දැක ගැනීමට ලැබේ.

නමුත් කණගාටු නොවන්න මේ හැම දෙයක්ම ඔබේ ඇහිබැමේ පාටට ගැළපෙන පැන්සලකින් eye liner එකකින් ඔබට සකස් කරගන්න පුළුවන්.

ආසියානු කාන්තාවන්ගේ ඇහිබැම ඇඳීමට වඩාත් සුදුසු වන්නේ කළු, දුඹුරු මිශ්‍ර වර්ණයයි (dark brown) එම වර්ණවලින් ඇහිබැම මත කඩ ඉරි ඇඳ eyebrow brush එකෙන් එය හොඳින් පීරා පිළිවෙළට සකසා ගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය හා පෞරුෂ සංවර්ධන උපදේශිකා

දීප්ති පෙරේරා