කහ වෙනුවට වහ කන්නේ මොකටද?

සැප්තැම්බර් 16, 2020

“දැන් මෙවැනි අයථා ලෙස වෙළෙඳාම් සිදු කරන ව්‍යාපාරිකයන් ගැන දැනුම්දීම සඳහා 1977 ක්ෂණික අංකය අප හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම පැමිණිලි අංශයකුත් ස්ථාපනය කරලා තිබෙනවා

කොරෝනා වසංගතය ආරම්භයත් සමඟ මිනිසුන්ට දෙවියන් සිහි විය. ඊළඟට සිහි වූයේ පෙරුම්කායම් සහ කහ කුඩුය. මුළුතැන්ගෙය මාස ගණනක් පුස්කමින් තිබූ කහ කැබලි ටිකට ලැබුණු වටිනාකම රත්තරන්වලටත් වඩා වැඩිවිය. කහ කුඩු ටිකක් බෙහෙතකට සොයා ගැනීමත් කළු නික සොයා ගැනීම තරමට අසීරු විය.

මේ තරම් වටිනාකමක් කහ කුඩුවලට ලැබුණේ කොහොමද? බොහෝ දෙනකුට සිතාගන්නටවත් බැරි විය. එපමණක් ද නොව කහ කුඩු අලෙවිය ව්‍යාපාරිකයන්ගේ මාෆියාවක් බවට පත් විය. රු. 200 ක් 300 ක් වූ කහ කුඩු කිලෝ එක රුපියල් 7000 ක් දක්වා ඉහළ ගියේ කිසිවෙකුටත් සිතා ගන්නට බැරි ආකාරයටය. අහස උසට ගිය කහ කුඩු මිල පාලනය කිරීමට රජයට පාලන මිලක් තීරණය කරන්න සිදු විය. එහෙත් දැන් කොහේවත් කහ ටිකක් සොයා ගන්නට නැත. මුළුතැන්ගෙයට නැතිවම බැරි වූ කහ ගැන දැන් ගෘහණියන්ට ඇත්තේ සිතා ගන්නට බැරි ගැටලු ගොඩකි. කහ සොයා ගන්නටවත් බැරිය. කහ නැතත් කහ කුඩු වෙළෙන්දෝ සඟවා ගෙන විකුණති. මේ විකුණන කහ නියම කහ කුඩුද? නැතිනම් පාන් පිටි කලවම් කළ කුඩුද? මේ ගැන විමසුමට ලක් කිරීමේ අපේක්ෂාවෙන් අප පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අංශයේ බස්නාහිර පළාත භාර සහකාර අධ්‍යක්ෂ ඒ. ඒ. ජෆූර් මහතා ඇමතුවෙමු.

“අපට ආරංචි වෙන ආකාරයට කහ කුඩ වෙළෙඳපොළේ හිඟයක් පවතිනවා. මේ හිඟය නිසා කහ කුඩුවටල විවිධ දේ මිශ්‍රකර අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. මෙය පාලනය කිරීම සඳහා අප ක්‍රියා මාර්ග කිහිපයක්ම දැනටත් ගෙන තිබෙනවා. අපට ලැබුණු තොරතුරු අනුව දැනට දිවයින පුරා අලෙවි කරන කහ කුඩු සාම්පල් ගෙන්වාගෙන තිබෙනවා.

මේ සාම්පල් පරීක්ෂා කිරීමේදී අපට ඔප්පු වුණා කහ කුඩු සමඟ 50% - 90% ප්‍රමාණයක් පාන්පිටි, හාල්පිටි, රතු පරිප්පු පිටි, කඩල පිටි වැනි දේ මිශ්‍ර කර තිබෙන බවට.

මේ ආකාරයෙන් කහ කුඩුවලට මෙවැනි පිටි මිශ්‍ර කළ පසු පැහැය වෙනස් වෙනවා. එවිට ඒවා පාරිභෝගිකයන්ට අලෙවි කරන්න බැහැ. ඒ නිසා මේ කූට ව්‍යාපාරිකයෝ කරන්නේ කහ කුඩුවල නියම පැහැය ගැනීම සඳහා විවිධ ඩයි වර්ග මිශ්‍ර කිරීමයි. මේ විදිහට මිශ්‍ර කරපු කහ කුඩු අලෙවි කරන්නේ වැඩි මිලට. රු. 1500 ට පමණ අලෙවි කරන්නේ ඒ වගේ කහ කුඩු.

විශාල මුදලට කහ කුඩු අලෙවි කළ වෙළෙඳුන් අප අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අය රු. 3000, 3500, 4000, 5000 ටත් අලෙවි කරලා තිබෙනවා.

මෙලෙසින් ව්‍යාජ කහකුඩු විකුණන ව්‍යාපාරිකයන් නීතියේ රැහැනට හසුකර ගැනීම පිළිබඳ සඳහන් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතාය.

 

2020/09/16 තරුණි බලන්න