වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
ණය ලකුණු වැඩි අඩු කරගන්නවා ද?

Black List වුණොත් ණයක් ගන්න බැරිද?
ආර්ථිකය සරු කරමින් මූල්‍ය විනයක් ඇතිව ජීවිතය පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය අනගි මෙහෙවරක යෙදෙන බව දැන් ඔබ හොඳීන් ම දන්නා කරුණකි.
පසුගිය සතියේ අප ගෙන ආවේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය වෙතින් ඔබේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්නා අන්දම සහ ණය තොරතුරු වාර්තාව ලබා ගැනීමේ වාසි සහගත තත්ත්වයන් පිළිබඳවයි.
අද අප ඔබව දැනුම්වත් කරනුයේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය මඟින් මේ වසරේ දී හඳුන්වා දුන් ණය ලකුණ හෙවත් credit score/CRIB Score පිළිබඳවයි.
මෙපමණ කල් පැවැති ඔබේ ණය තොරතුරු වාර්තාව වෙනුවට අවශ්‍ය නම් ඔබේ ණය ලකුණ ලබා ගැනීමට දැන් අවස්ථාව තිබේ. මෙහිදී ලකුණු 250 සිට 900 දක්වා ලකුණු ප්‍රමාණයක් හිමිවේ. ඔබගේ ණය තොරතුරු පරිගණකගත ඇල්ගෝරිදමයක් වෙත යොමු කිරීමෙන් ණය ලකුණු ජනනය කෙරේ.
මෙය අන්තර්ජාතිකව පිළිගත් ක්රමවේදයකි. එය අපේ රටට ගැළපෙන අයුරින් සකසා ඇත. මින් පිළිබිඹු වන්නේ තමන්ගේ ණය අවධානමයි. නැතහොත් ණය ශක්‍යතාව කුමක්ද යන්නයි.
මෙය ලකුණක් පමණි. උදාහරණයක් ලෙස අප හිතමු 'ය' පුද්ගලයාගේ ණය ලකුණ 700 ක් ලෙසත් ර නම් පුද්ගලයාගේ ණය ලකුණ 500 ක් ලෙසත් තිබෙනවා යැයි කියා. ලකුණ 700 ගත් 'ය' ට වඩා ලකුණ 500 ක් ගත් 'ර' ගේ ණය අවධානම වැඩිය. 'ය' ණය මුදලක් ඉල්ලුම් කරද්දී ඉල්ලූ ණය මුදල ම ලබා දීමට බැංකු හා මූල්‍ය ආයතන කැමැති විය හැකියි. එහෙත් 'ර' ගේ ණය අවධානම වැඩි නිසා වැඩි පොළී අනුපාතිකයක් යටතේ ඉල්ලුම් කළ ණය මුදල ලබා දෙන්නේ දැයි නිගමනය කරන්නේ ර ණය ඉල්ලුම් කළ වානිජ බැංකුව හෝ මූල්‍ය ආයතනය යි.
ණය වාර්තාවේ ණය ඉතිහාසය ඇතුළුව විස්තර බොහොමයක් ඇතුළු වද්දී, ණය ලකුණ ලකුණක් ම පමණි. එහි සඳහන් වන්නේ එයට හිමි ලකුණයි.
CRIB වාර්තාව මෙතෙක් ණය මුදලක් ලබා ගැනීම සඳහා බාධාවක් යැයි සිතුවේ නම් මින් ඉදිරියට ණය ලකුණ ඔබේ පිහිටට සිටීවි. ණය වාර්තාව එක් එක් ආයතන විවිධ දෘෂ්ඨිකෝණවලින් දකිද්දී ණය ලකුණ දෙස සෑම ණය දෙන ආයතනයක් ම බලනුයේ බොහෝවිට එකම දෘෂ්ඨිකෝණයකිනි.
මේ ලකුණ එක්රැස් කිරීම තමා විසින් ම කරන දෙයකි.ණය අවදානම අඩුවද්දී නැවත ණයක් ලබා ගැනීමට සුදුස්සෙක් විය හැකියි.තව තවත් ණය ඉල්ලුම් කළ හැකි අතර නියමිත පරිදි එය ගෙවා ගෙන යද්දී ණය ලකුණ ප්රශස්ත මට්ටමක පැවත ගෙන යා හැකිවේ. යම් අතපසු වීමක් සිදුවද්දී ණය ලකුණ අඩුවුවත් නැවත ගෙවා ගෙන යද්දී ණය ලකුණ යම් වෙනසකට ලක්වේ.ක්‍රමක්‍රමයෙන් එය හොඳ මට්ටමකට ගෙන ආ හැකියි.එසේ නම් ණය ලකුණ වැඩි කරගන්නවා ද, අඩු කරගන්නවා ද ? තීරණය ඔබේ අතේ.
සුරැකුමක් ලෙස
ණයක් ගන්නට යද්දී ණය ලකුණ සුරැකුමක් ලෙස තබන්නට ඔබට හැකි වේවි. සාමාන්‍ය සුරැකුමක් නොමැති කෙනකුට, ගේ දොර ඉඩකඩම් නොමැති අයකුට වුව මෙලෙස තම ණය පැටිකිරිය ණය ලකුණ ලෙසින් ගෙන සුරැකුමක් ලෙස තැබීමේ මහඟු වාසිය හිමිවේ. ඉන් විදහාපානුයේ තම මූල්‍ය විනය මනාව පවත්වා ගෙනයන්නකු බවයි. දියුණු රටවල් මේ ක්‍රමය අනුගමනය කරයි. ණය ලකුණ එක්තරා ලෙසක කීර්ති නාමයකි. සරලව ම කීවොත් චරිත සහතිකයක් හා සමාන ය.
එසේ ම ණය ලකුණ ගෙන ගොස් ඔබට කේවල් කිරීමට වුව පුළුවන. ප්රශස්ත කොන්දේසි හා නියමයන් කරා යෑමට අවස්ථාව තිබේ. ඔබේ ණය අවදානම අඩු නිසා වාසිදායක පොළී අනුපාතිකයන්ට යෑමට අවස්ථාව තිබේ. බැංකුව ණය ලකුණ අනුව ඔබේ අවශ්‍යතාව පිළිබඳ සලකා බලනු ඇත. ණය ලකුණ අඩු කෙනකුගේ ණය අවධානම වැඩි නිසා මෙවැනි වරප්‍රසාද නොලැබී යෑමට පුළුවන.
ණය ලකුණ අනුව ඔබ ඉල්ලුම් කළ ණය මුදල ලබා දීම ද කඩිනම් වනු ඇත.
Black List වීම මේ ණය සම්බන්ධයෙන් බැඳුණු තවත් වදනකි. ඔබගේ ණය තොරතුරු, ණය තොරතුරු කාර්යාංශයට වාර්තා වීම black list වීම නොහොත් අසාදු ලේඛන ගතකිරීමක් හෝ නව ණය පහසුකමක් ලබා ගැනීමට නුසුදුසුකමක් ලෙස සැලකෙන්නේ නැත. ණය තොරතුරු කාර්යාංශය විසින් කිසිම පුද්ගලයකු හෝ ආයතනයක් Black List කිරීමක් සිදු නොකරයි. තවද කාර්යාංශයේ ණය තොරතුරු වාර්තාව මඟින් ඔබට හෝ ඔබගේ ව්‍යාපාර ආයතනයට ණය පහසුකමක් ලබාදීමට සුදුසු හෝ නුසුදුසු ලෙස අනුමත කිරීමක් හේ අර්ථ දැක්වීමක් සිදු නොකරයි. එය ණය දෙන ආයතනයට වඩාත් නිවැරැදි හා යෝග්‍ය, ණයදීම හෝ නොදීම පිළිබඳ තීරණයක් ගැනීමට තොරතුරු සපයන තවත් මූලාශ්‍රයක් පමණි.
ඔබට හෝ ඔබගේ ව්‍යාපාර ආයතනයට ණය පහසුකමක් ලබාදීම හෝ ඇපකරුවකු ලෙස සම්බන්ධ කරගැනීම ආදිය තීරණය කිරීමේ පූර්ණ අයිතිය ණය දෙන ආයතන සතුවේ.
අදහස් දැක්වීම
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්යක්ෂ සාමාන්‍යාධිකාරී
නන්දි ඇන්තනි සහ මෙහෙයුම්
කළමනාකරු
ඉන්දික දිසානායක