ඇඳුමක් අයින් කරනවා නම් විතරක් අලුත් එකක් මිල දී ගන්න

පෙබරවාරි 3, 2021

 

'ඇඳුම් විලාසිතා' කියන්නේ කාන්තාවන්ට කතා කරලා ඉවර කරන්න බැරි ඉතාමත් සුන්දර මාතෘකාවක්.

මඟතොටේ දී හෝ ඔන්ලයින් හෝ එහෙමත් නැත්නම් පින්තූරයක තමන් ආසම විදියේ ඇඳුමක් දැක්කොත් නම් ඒ ඇඳුම තමන්ටත් මිල දී ගන්නකම් ඉවසිල්ලක් නැතුව යනවා.

ඒත් ඉතිං තමන්ටම කියලා ඇඳුමක් ගනන්කොට අපි ටිකක් නෙමේ හුඟාක්ම සැලකිලිමත් විය යුතුයි. විලාසිතාවක් දැක්ක පමණින් එය අපිට ගැළපෙනවා ද කියා නො හිතා මිලදී ගත්තෝතින් ගැටලු රැසකට මුහුණ දෙන්න වේවි. ඒ නිසා කාන්තාවක් හැටියට තමන්ට ගැළපෙන විලාසිතා මොනවද? ඒ විලාසිතාවන් තෝරා ගන්නෙ කොහෙන්ද? ඇඳුම් පැලඳුම් මිල දී ගන්න කොට සැලකිලිමත් විය යුතු දේවල් මොනවාද මේ ආදී කරුණු ගැන අද අපි කතා කරමු.

තමන්ට සුදුසු ඇඳුමක් තෝරාගැනීම එය පිළිවෙළට පිරිසුදුව ඇඳ ගැනීම පටන් ගත යුත්තේ තම නිවෙසේ දී ම යි. බොහෝ කාන්තාවන් නිවෙසේ සිටින්නේ වැරහැලි ඇඳගෙන. සමහර අවස්ථාවල දී විද්වතුන් කාන්තාවගේ මෙම වැරහැලි ඇඳුම හුචක්කුව ලෙස ද නම්කර තිබෙනවා. එවන් තත්ත්වයකට තමන්ව ඇද දා තිබෙන්නේ මේ සුන්දර වූ කාන්තාව ම තමයි. එහෙම්මම හිටියාම ඉවරයිනේ. නමුත් ඇත්ත කාරණාව නම් අපි එහෙම ඉන්න කැමැති නෑ කියන එක. ඒ නිසා ඔබ නිවෙසට ආ විගස හොඳීන් පිරිසුදුව මනාව සැරසෙන්න. ඔබ තමයි ගෙදර ශ්‍රියා කාන්තාව. ඔබේ ප්‍රියමනාප බව, ඔබෙන් එන සුවඳවත් බව, ඔබේ ගෙදර ඉන්න සාමාජිකයන්ට දැනෙනවා. මේ විදිහට ඇඳුම් ඇඳ සිටීම ඔබගේ පවුල් ජීවිතය සුන්දර කිරීමට ඉතාමත් වටිනවා.

විලාසිතා ගැන අවබෝධය

ඒ වගේම ලෝකයේ සිදුවන නවීන විලාසිතාවන් ගැන පුංචි හෝ අවබෝධයක් සියලුම කාන්තාවන්ට තිබිය යුතුයි. තමන්ට නිසියාකාරව ගැළපෙන, පිළිවෙළ ඇති ඇඳුමක් තෝරා ගැනීමට හැම කාන්තාවකටම පුළුවන් කමක් නෑ. එහෙම කෙනකුට තම පවුලේ සාමාජිකයන්ට ඇඳුම් තෝරා ගැනීමට පුළුවන් වෙන්නෙත් නෑ. එහෙම තෝරා බේරා ගත්තත් ඒ ගැන උපරිම සතුටක් ඇයට ලබන්නට බැහැ. නමුත් අද අප කා අතරත් ස්මාට් ෆෝන් එකක් තියෙනවා. මේ හරහා අපිට අලුත් විලාසිතාවන් මොනවාද කියා සොයා බලා පුංචි දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ පුංචි දැනුම උපයෝගී කරගෙන ඔබට අවශ්‍ය ඇඳුම් පැලඳුම්, විලාසිතාවන්වලට යොමු වෙන්න පුළුවන්.

සල්ලි ටිකක් ලැබුණු විගස දුවන්නන් වාලේ සාප්පු සවාරි යෑම නතර කර දමන්න. මේ දිනවල නම් කොහොමත් සාප්පු සවාරි යෑම සුදුසු නැහැ. සාප්පු සවාරි යෑමට අවශ්‍ය නම් අපි ප්‍රථමයෙන්ම කළ යුත්තේ අවශ්‍ය නැති ඇඳුම් අල්මාරියෙන් ඉවත් කර දැමීමයි. අල්මාරිය පිරෙන්න ඇඳුම් පොදි ගහගෙන කාටවත් නොදී තියාගෙන ඉඳීම පලක් නැහැ. අලුත් ඇඳුම් ගෙනල්ලා කොච්චර ඇතුළට දාලා පිරෙව්වත් වැඩක් නැහැ. පරණ තියෙන ඒවාවත් ඇඳලා නැහැ. ඒ නිසා විශේෂත්වයකින් තොරව සාමාන්‍යයෙන් ඇඳුමක් මිලදී ගන්නවා නම් එහෙම කළ යුත්තේ අල්මාරියෙන් ඇඳුමක් ඉවත් කළාට පසුවයි. අනවශ්‍ය ලෙස ආසාවට කවුරුත් ඇඳන් ඉන්නවාට නිකරුණේ මුදල් නාස්තිකර ඇඳුම් උස්සාගෙන එන්න එපා. ඔබට ඇඳුම් විශාල ප්‍රමාණයක් තිබෙනවාට වඩා ඉතාමත් උසස් ගණයේ නිර්මාණවලින් යුතු පාට කීපයකින්, ගුණාත්මක බවින් යුක්ත ඇඳුම් කිහිපයක් තිබීමත් වටිනවා.

 

උත්සව අවස්ථාවක් සඳහා

 

අපි සතු මුදල කොපමණද? අපිට ඇඳුම් අවශ්‍ය වන්නේ කුමන උත්සව අවස්ථාවක් සඳහා ද? එය ආයතනයක් ඇතුළෙ තියෙන එකක් ද එහෙම නැත්නම් එළියෙ පවත්වන උත්සවයක් ද? සහභාගි වන්නේ කුමන ආකාරයේ අමුත්තන් ද? පාටක් සහ ඇඳුමේ ස්වභාවයක් සඳහන්කර තිබෙනවා ද?

ඒ ඇඳුම සඳහා පලඳින්න ආභරණ තියෙන්නේ මොනවාද? තියෙන සපත්තු, හෑන්ඩ් බෑග් වර්ග මොනවා ද? එම අවස්ථාව සඳහා ගමන් කිරීමට ඇති දුර ප්‍රමාණය ඇඳුමට සුදුසු කොණ්ඩ විලාසිතා, මේකප් මොනවාද? වැනි කාරණා කිහිපයක් ගැන ඔබේ අවධානය යොමු විය යුතුයි.

ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමේ දී අපිට ලැබෙන ආරාධනාව අනුව එහි අපිට වර්ණයක්, ඇඳුමේ ස්වභාවයක් සඳහන් වී ඇත්නම් අප එය අනුගමනය කළ යුතුයි. අපිට ඕනෙ ඕනෙ වර්ණ, ඕනෙ ඕනෙ ඇඳුම් ඇඳගෙන ගිහින් විහිළුවකට ලක් වෙන්න එපා.

 

මිලදී ගන්න සැලස්මක්

 

ඇඳුම් මිලදී ගැනීමට ප්‍රථම ඔබ යම් සැලැස්මක් සාදා ගන්නේ නම් ඒ අනුව ඔබට සුදුසු ඇඳුම ඉක්මනින්ම තෝරාගෙන පැමිණිය හැකියි. අවශ්‍ය දේ පිළිබඳ ලැයිස්තුවක් නැතුව සාප්පු සවාරියේ යෙදීමෙන් අනවශ්‍ය මුදල් නාස්තියක්, කාලය අපතේ යාමක් සදු වෙනවා. එමනිසා කාන්තාවක් හැටියට ඉතා පිළිවෙළකට තම මුදල් අපතේ නොයවා තමන්ට අවශ්‍ය දෑ මිල දී ගැනීමට නිතර පුරුදු වෙන්න.

ඔබට ඇඳුමක් තෝරා ගැනීම තනිවම සිදුකරගන්න බැරි නම් ඔබේ හිතවත් මිතුරියක් මේ සඳහා සම්බන්ධ කර ගන්න. දෙදෙනකුගේ ම අදහස් එකතු වීම තුළින් ඉතා හොඳ ඇඳුමක් ඔබට මිලදී ගැනීමට පුළුවන්.

 

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා