දක්ෂතාවන්ගෙන් දියුණුව සොයා ගන්න...

පෙබරවාරි 24, 2021

අප බොහෝ විට ජීවිතයේ ලබා ගන්නා ඉලක්ක අපට ගැළපෙන ඒවාදැයි දෙවරක් සිතීමට සිදු වේ. ඇතැම් ඉලක්ක අප ලබා ගන්නේ බාහිර ලෝකය තුළින් දකින දේ නිසා වීමට හැකිය.

'එයා සාර්ථකත්වය ලබා ගත්තේ ඒ වගේ බිස්නස් එකක් කරලා නම් මමත් ඒ බිස්නස් එක පටන් ගන්න ඕනේ..., එයාගේ ජීවිතේ සාර්ථක වුණේ ඒ දේවල් ඉගෙන ගත්ත නිසා නම් මමත් ඒ දේවල් ඉගෙන ගන්න ඕනේ..' ලෙසින් සිතයි.

එහෙත් එකිනෙකා සතු දැනුම, හැකියාව වෙනස් බව නොසිතයි. අයෙක් ලබන දියුණුව, ඒ දේම කිරීම මඟින් අපට ලබා ගැනීමට හැකි වේ යැයි සිතීම අනුවණ කමකි. මන්ද ඇතැම් විට අපට ඒ පිළිබඳ හැකියාවක්, දක්ෂතාවක් නොමැති විය හැකි බැවිනි.

අද අප මේ ලිපිය තුළින් කතා බහ කිරීමට අදහස් කරන්නේ මේ කාරණාව පිළිබඳයි. 'අනුකරණය' සඳහා අපේ බොහෝ ඇත්තන් දක්වන්නේ මහත් වූ ඇල්මකි. ඒ අලුතෙන් යමක් කරනවාට වඩා යමෙක් සිදුකර ඇති දෙයක් දෙස බලා ඒ දේම සිදු කිරීම යම් පහසුවක් වන නිසාය.

දිනක් මිනිසෙක් රාත්‍රියේ ගමනක් යන විට පාරේ පහන් කණුවක් යට සිටින මිනිසෙක් යමක් සොයමින් සිටින බව දැක 'ඔබ සොයන්නේ කුමක්දැ'යි විමසුවේ ය. 'මගේ ඉඳිකටුව වැටුණා.. මම මේ ඒක සොයනවා..' යැයි ඒ මිනිසා පිළිතුරු දුන්නේ ය. ගමන යාමට පැමිණි මිනිසා ද තමාගේ ගමන යාම නවතා ඉඳිකටුව සෙවීමට උදවු කිරීමට ඉදිරිපත් විය. එතැනින් යාමට පැමිණි තවත් මිනිසෙක් මේ දෙදෙනා යමක් සොයන බව දැනගෙන 'සොයන්නේ කුමක්දැ'යි විමසුවේ ය. 'අපි මේ නැතිවුණ ඉඳිකටුවක් සොයනවා..' යැයි ඔවුන් පිළිතුරු දුන් විට ඒ මිනිසා ද මොවුනට එක් වී ඉඳිකටුව සෙවීමට විය.

මෙසේ මගීන් හත් දෙනෙක් දක්වා ඉඳිකටුව සොයන පිරිස වැඩි විය. එවිට ඉඳිකටුව සොයමින් සිටි එක් අයෙක් ඉඳිකටුව නැති වූයේ යැයි පැවසූ පුද්ගලයාගෙන් 'එය නැති වූයේ කොයි හරියේ දී දෑ'යි විමසුවේ ය. එවිට ඉඳිකටුව නැති වූ පුද්ගලයා පැවසුවේ 'එය නැති වුණේ මගේ නිවසේ ඇඳ අසල දී..' 'එසේ නම් එය මෙහි සොයන්නේ ඇයි' දැයි නැවතත් ඔහුගෙන් විමසූ විට පැවසුවේ, 'මගේ ඇඳ අසල කළුවර නිසා මම මේ එළිය ඇති තැන එය සෙව්වා..' යනුවෙනි.

මෙම කතාවෙන් අපට ගත හැකි බොහෝ පාඩම් ඇත. අප මේ ලිපි පෙළ පුරාවට ඔබට තම ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ඉලක්ක ජය ගන්නා ආකාරය පිළිබඳ දේශීය මෙන්ම විදේශීය විවිධ පුද්ගල චරිත නිදසුන් ලෙස ගෙනහැර පාමින් කරුණු ඉදිරිපත් කළේය.

නැති වූ තැන සොයනු විනා ලේසි තැන සෙවීමෙන් ඉඳිකටුව නොලැබේ. එහෙත් ඉඳිකටුව සෙවූ මිනිසා එය නැති වූ ස්ථානය අඳුරු නිසා එළිය ඇති පහන් කණුව යට සෙවීම පහසු දෙයක් වූ බැවින් එම නිෂ්ඵල කාර්යය සිදු කිරීමට පෙලඹුණේ ය. තවත් බොහෝ දෙනා ඔහුට එය සෙවීම සඳහා උදවු වීමට ඉදිරිපත් වුවත් එය නිෂ්ඵල කාර්යයක් වන්නේ එතැන ඉඳිකටුව නොමැති බැවිනි. ඔහු එය වැටුණු තැන වූ නිදන කාමරයේ එය නොසොයන්නේ ඒ සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවන නිසයි. නමුත් එය නැති තැනක සෙවීමට වඩා තිබෙන තැන සෙවීම ප්‍රතිඵලදායක ය.

අපේ ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳ වන කතාවත් එසේම ය. සාර්ථකත්වය සොයන ඇතැම් අය එය තම ජීවිතය තුළින් නොසොයා, අනෙක් බාහිර දේවලින් සෙවීමට උත්සාහ දරයි.

යමෙක් එය ග්‍රහයන් තුළ සොයයි. තව කෙනෙක් එය වාලම්පුරි තුළ සොයයි. තවත් අයෙක් එය දේශපාලනඥයන් තුළ සොයයි. තවත් කෙනෙක් තමා විවාහ වූ සැමියා හෝ බිරියගෙන් එය බලාපොරොත්තු වන අතර තවත් අයෙක් එය තමා සේවය කරන ස්ථානයේ ප්‍රධානියාගෙන් බලාපොරොත්තු වේ. තවත් අයෙක් ඒ සඳහා තමාට කවුරුන් හෝ අතහිත දෙනතෙක් බලා සිටී. එහෙත් අප සැබැවින් ම තේරුම් ගත යුතු වන්නේ සාර්ථකත්වය අප තුළින් ම සොයා, ගොඩනගාගත යුත්තක් බවය. පහසුව පතා අප එය වෙන වෙන පුද්ගලයන්ගෙන් සෙවූවද ඔවුන්ගෙන් එය සෙවීමට නොහැකි ය.

ඔබ තමා තුළින් එය සොයාගෙන ගමනක් යාමට පටන්ගත් විට මෙතෙක් අප සඳහන් කළ නොකළ සියලු දෙනා හෝ ඉන් කිහිපදෙනෙක් හෝ ඔබට සහය වීමට පැමිණේ. එසේ පැමිණ ඔවුන් ඔබට උදවු කිරීමට පෙලඹේ.

හරියට පහන් කණුව යට ඉඳිකටුව සොයමින් සිටි මිනිසාට පාරේ යන අය උදවු කිරීමට පැමිණි ලෙසයි. එහෙත් ඔවුන් කළ උදවුව නිරර්ථක එකක් වූයේ පහන් කණුව යට ඉඳිකටුව නොතිබූ නිසයි. පහසු තැන සෙවූවද ඉඳිකටුව නොලැබුණ ද නිසි තැන එය සෙවූයේ නම් පහසු නොවූවද එය සොයා ගැනීමට හැකියාව තිබිණි.

මෙයින් අවධාරණය වන කරුණ වන්නේ පහසු තැන්වල ජීවිතය සෙවුවාට එය ඔබට ලැබෙන්නේ නිසි ස්ථානයේ දී සෙවූ විට පමණි. සාර්ථකත්වයට යන මාවත වැටී ඇත්තේ ඔබ තුළින් මය. එය වෙනත් බාහිර ස්ථානයන් හෝ පුද්ගලයන් මතින් සොයා ගැනීමට නොහැකි ය. එහෙත් බොහෝ දෙනා සාර්ථකත්වයට යන මාවත සොයමින් ජීවිතයේ බොහෝ කාලයක් නිරර්ථක ලෙස වැය කරමින් එහේ මෙහේ ඇවිදිති.

එනිසා මොහොතක් නතර වන්න. සුදු පැහැ කඩදාසි කොළයක් අතට ගන්න.

එහි ජීවිතයේ දී ඔබ ළඟා කරගත යුතු අනාගත ඉලක්ක පිළිබඳ ඔබම සටහන් කරන්න. ඉන්පසු ඒ පිළිබඳ ළඟා විය යුතු මාර්ග ගැන ඔබම සොයා බලා සටහන් කරන්න. දැනටමත් ඒ කරා ළඟා වී ඇති පුද්ගලයන්ගෙන් ඒ පිළිබඳ උපදෙස් ලබා ගන්න. ඔබ යන්නට අපේක්ෂා කරන දුර, ගොස් ඇති අයගේ ජීවිත කතා කියවන්න. ඒවා නිරීක්ෂණය කරන්න.

ඔවුන්ගේ ජීවිතවලින් උකහා ගන්නා දේවල් ඔබගේ ගමන සාර්ථක කරගැනීමට මෙන්ම වේගවත් කරගැනීමට උපයෝගී කරගත හැකිය. එය විවිධ අය ඔබගේ උදවුවට පැමිණෙන ආකාරයයි. එහෙත් ඔබ යා යුතු තැන තවමත් නිශ්චිතව සොයාගෙන නැතිනම්, ඉලක්කයක් ලබා ගෙන නැතිනම් ඒ සඳහා ඔබට උදවු කිරීමට ඔවුනට නොහැකි ය.

ඔබ අනිවාර්යයෙන් තේරුම් ගත යුතු කාරණය වන්නේ, සාර්ථකත්වය, ජීවිතය ජය ගැනීම ඔබට අවශ්‍ය වන්නේ නම් එය ඔබ තුළින් ම සොයා ගත යුතු බවයි.

ඉලක්කයක් සොයා ගැනීම කෙසේ කළ යුතු ද යන්න අප කලින් සාකච්ඡා කළෙමු. තමා තුළ ඇති හැකියා, දක්ෂතා ආදිය ගැන සොයා බලා ඉලක්කයක් ලබා ගත යුතුය. එසේ ලබා ගන්නා ඉලක්කයක් ජය ගැනීම ඔබට වැඩි අපහසුවකින් තොරව සිදු කළ හැකි වනු ඇත.

 

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.