සාර්ථකත්වය ලබා ගැනීමට දියුණු කළ යුතු මෘදු කුසලතා හඳුනාගනිමු

මැයි 31, 2021

 

ජීවිතයේ අප ලබා ගන්නා දියුණුව කුමනාකාරයේ එකක් විය යුතු ද? ඔබේ සිතේ ඔබ ලබා ගත යුතු දිනුමක්, සාක්ෂාත් කරගත යුතු ඉලක්කයක් ඇත. එහෙත් මේ ඉලක්ක ය හඹා යාමේ දී අපට අප අහිමිකර ගැනීම ද නොකළ යුතුය. අප ඉලක්ක හඹා යාමේ දී වඩාත් සාර්ථක, තමාගේ සතුට ද ළඟා කරගත හැකි ආකාරයේ ගමන් මාර්ගයක් ඒ සඳහා තෝරා ගත යුතුව ඇත. මන්ද ජීවිතයේ අප කොතරම් දේ ලබා ගත්ත ද සතුට තම ජීවිතය තුළ නැතිනම් ඉන් සැබෑ තෘප්තියක් නොලැබිය හැකි බැවිනි.

විවිධාකාර පුද්ගලයන් සාර්ථකත්වය සොයා යාමේ දී විවිධ වූ ක්‍රමෝපායයන් යොදා ගනියි. එහෙත් අප සොයා ගත යුත්තේ වඩාත් හොඳම ක්‍රමයයි. ඉලක්ක ජය ගැනීම සඳහා, දියුණුව ලබා ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ මූලික කුසලතා වර්ග දෙකක් ඇති බව අප පසුගිය සතියේ සඳහන් කළා ඔබට මතක ඇති. පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා ඇති සියලු ම විධිමත් අධ්‍යාපනයන් තාක්ෂණික කුසලතා බව අපි ඔබට පැහැදිලි කළෙමු. එම තාක්ෂණික කුසලතා වර්ධනය කරගැනීමේ වැදගත්කම ද වඩාත් හොඳින් පැහැදිලි කළ අතර අද අපි අනෙකුත් අත්‍යවශ්‍ය කුසලතාව වන මෘදු කුසලතා පිළිබඳ දැනුම්වත් වෙමු.

තාක්ෂණික කුසලතා තිබීම පමණක් පුද්ගලයකුගේ දියුණුව ළඟාකර ගැනීමට නොසෑහෙන අතර එම කුසලතා ඔප මට්ටම් කිරීම සඳහා මෘදු කුසලතා ද තිබිය යුතුය. කොතරම් අධ්‍යාපනයෙන් උසස් තලයකට පැමිණිය ද ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත සාර්ථකත්වය ළඟාකර ගැනීමට අපොහොසත් වන්නේ මේ මෘදු කුසලතාවල ඇති හීන බව නිසයි.

මෘදු කුසලතා පිළිබඳ අපේ රටේ ඇති දැනුම්වත් බව ඉතාමත් අඩු ය. ඒ හේතුවෙන් බොහෝ අය තාක්ෂණික කුසලතා තිබුණ ද තමාගේ ඉලක්කය වෙත යාමට නොහැකිව ළතැවෙති. අපි මේ කුසලතාව පිළිබඳ ජාත්‍යන්තරයේ පවතින තත්ත්වය පිළිබඳ විමසා බලමු. හාවඩ් සරසවිය හා කානගී පදනම, ස්ටැෆර්ඩ් නම් සමීක්ෂණ ආයතනය යන මේ ආයතන තුන එකතු වී පුද්ගලයකුගේ වෘත්තීය සාර්ථකත්වය තීරණය කරන්නේ කුමන සාධක ද යන්න පිළිබඳ ලෝක මට්ටමේ සමීක්ෂණයක් පැවැත්විය.

එහිදී ඔවුන් සොයාගෙන ලොවට ඉදිරිපත් කළ න්‍යාය වූයේ පුද්ගලයෙක් පාසල, විශ්ව විද්‍යාල ඇතුළු ආයතනවලින් ලබා ගන්නා තාක්ෂණික දැනුම එයට උපකාර වන්නේ සියයට පහළොවක ප්‍රතිශතයක් බවයි. එහෙත් ලංකාවේ මවුපියන් බොහෝ වෙහෙසෙන්නේ මේ දැනුම දරුවාට ලබා දීමටයි.

නමුත් ඉහත කී සමීක්ෂණයට අනුව පුද්ගලයකුගේ වෘත්තීය සාර්ථකත්වයේ අනෙක් සියයට අසූපහ ම තීරණය වන්නේ මෘදු කුසලතා මතයි. එසේ වුවත් අපේ රටේ පාසල්, විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යයන්ගේ මෘදු කුසලතා සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු නොවන අතර ඒ පිළිබඳ කිසිදු වැඩ පිළිවෙළක් ද නොමැති තරම් ය.

පිගී නමැති ලේඛිකාව, දේශකවරිය පවසන්නේ මිනිසුන් මෘදු කුසලතා පිළිබඳ දක්වන උනන්දුව අඩු වුවද එය ඔබේ ජීවිතයේ සාර්ථක අසාර්ථක බව තීරණය කරන බවයි.

අපේ රටේ බොහෝ විට පුද්ගලයන් අසාර්ථක වීමට, රැකියා හැර යාමට, පවුල් සබඳතා බිඳ වැටීමට, සියදිවි හානිකර ගැනීමට පවා මේ මෘදු කුසලතාවල අඩුව මහත් බලපෑම් සිදු කරයි. මෙතරම් වැදගත් මෘදු කුසලතා යනු මොනවාදැයි දැන් ඔබේ සිතට ගැටලුවක් පැන නැගී ඇති. මෙම මෘදු කුසලතා ද කොටස් දෙකකින් යුතුය.

ස්වයං කළමනාකරණ කුසලතා

මෙය තවත් සරල ලෙස පවසන්නේ නම් තමන්ට තමන් කළමනාකරණය කරගැනීමේ කුසලතා ය. මේ යටතට තමාගේ හැඟීම්, ආවේග පාලනය කරගැනීමේ හැකියාව, තරහ පාලනය කරගැනීමේ හැකියාව, දුක, ආතතිය ආදිය පාලනය කිරීමේ හැකියාව ලෙස කරුණු දහයක් පාලනය කිරීමේ හැකියාව මෙයට අයත් වේ. මේ පවසන වචනය පමණක් නොව, මෙහි කුසලතාව ඔබ වෙත තිබිය යුතුය. ඔබ සමාජය තුළ මිනිසුන් සමග ගනුදෙනු කරද්දී ගැටලුවලට මැදි වී අප කලින් සඳහන් කළ ආකාරයේ විවිධාකාර වෘත්තීය ගැටලු, පවුල් ගැටලු ආදියට මුහුණ දීමට සිදු වේ. එසේ වූ විට සාර්ථකත්වය ලබා ගැනීමට අපහසුතා ඇති වේ.

අනෙකුත් පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ දී තිබිය යුතු කුසලතා

ඕනෑම කාර්යයක් කිරීමට යාමේ දී ඒ සඳහා වූ උපකරණ, විධික්‍රම ආදිය ඇත. එම දේවල් නැතිව ඉලක්කය හා උනන්දුව තිබූ පමණින් අපට අවශ්‍ය දේ කළ නොහැකි ය. එම කාර්යයන් කිරීමට නම් අප එයට අවශ්‍ය උපකරණ, විධික්‍රම ආදිය පිළිබඳ දැනගත යුතුය.

සන්නිවේදන කුසතාව, කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ කුසලතාව, ඉදිරිපත් කිරීමේ කුසලතාව, විකිණීම් කුසලතා ආදී ලෙස වූ මූලික කරුණු දහයක් පවතී.

මේ ඉහත කී ස්වයං කළමනාකරණ කුසලතා හා අනෙක් පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ දී තිබිය යුතු කුසලතා යම් පුද්ගලයකු සතු නම් එවැනි අය නිසි අධ්‍යාපනයක් නොලැබුවත්, ශක්තිමත් පවුල් පසුබිමක් නොතිබුණත්, රටේ නම ගිය පාසලකට නොගියත්, පවුලෙන් හිමි වූ ධනයක් නැති වුවත් තමාගේ ජීවිතය නිවැරැදි ඉලක්කය කරා මෙහෙය වීමට හැකියාව ලබා ගනී. ඔවුන් සෑම අතින් ම තම ජීවිත සාර්ථක කරගැනීමට තරම් බුද්ධිමත් වේ.

එසේ නම් අප කුඩා කළ සිට ම දරුවකුට වැඩි වශයෙන් ලබා දිය යුතු වන්නේ මෘදු කුසලතා ය.

එමඟින් තම ජීවිතය නිවැරැදි ඉලක්කයක් කරා යොමුකර ගැනීමට ඔවුනට හැකියාව ලැබේ. තරුණ ඔබට ද මෙය වඩාත් වැදගත් වන්නේ මෙතැන් සිට හෝ මෘදු කුසලතා දියුණු කරගැනීම මඟින් ක්‍රම ක්‍රමයෙන් සාර්ථකත්වය කරා යන ගමන් මාර්ගයට ඔබ අවතීර්ණ වන බැවිනි.

 

 

 

 

 

උපදෙස් - ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු