කාලය ඉක්මනින් ගත වේ.. අද ම ක්‍රියාත්මක වන්න..

තමාගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින තරුණ තරුණියනි
ජූලි 7, 2021

 

යමක් කිරීමට හොඳම නැකැත වන්නේ එය කිරීමට සිදු ව ඇති මොහොතයි.
  

සාර්ථකත්වය යනු සෑම පුද්ගලයකු ම ලබා ගැනීමට කැමැත්තක් දක්වන දෙයකි. නමුත් අපේක්ෂිත සාර්ථකත්වය කරා සෑම මනුෂ්‍යයකුට ම ළඟා වීමට නොහැකි ය. එසේ වන්නේ ඔවුන් ඒ සඳහා ක්‍රියාත්මක නොවීම විය හැකිය.

කල් යල් බලමින් සිටීමෙන් සිදු වන්නේ කාලය ගෙවී යාම පමණි. යමක් සඳහා අප ක්‍රියාත්මක නොවන තාක් කල් ඒ ඉලක්කය අපට අතපොවනු නොහැකි දුරකින් බව පෙනෙනු ඇත.

යමක් කිරීමට සුබ මොහොත වන්නේ එය කිරීමට සිදු ව ඇති මොහොත බව බුදුරජාණන් වහන්සේ පවසා ඇත. යමක් කිරීමට සිදුව ඇතත් මේ මොහොත ඒ සඳහා සුදුසු නැති බව සිතමින් කල් යවන්නන්ට හොඳම නැකත වන්නේ එය කිරීම සිදු ව ඇති මොහොත බව සිතට ගැනීමෙන් තමාගේ දියුණුව කරා ළඟා විය හැකිය.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, නව රැකියාවකට යාමට, නිවෙසක් ගොඩනගා ගැනීමට හෝ තමා ජීවිතයේ අපේක්ෂා කරන යම් කිසි දෙයක් ආරම්භ කිරීමට වැනි යමක් කිරීමට සිතන බොහෝ අය සිදු කරන්නේ කුමක්දැයි මඳක් සිතා බලන්න. මෙවැනි අදහසක් හිතේ ඇති බොහෝ දෙනා තම අදහස අනෙක් අයට පවසමින්, ඔවුන්ගේ අදහස් විමසමින් එය ක්‍රියාත්මක කිරීම කල් දමයි.

තමාගේම යැයි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින තරුණ තරුණියන් බොහෝ පිරිසක් ඇත. ඔවුන් තමාගේ අදහස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් සොයාගෙන, අවශ්‍ය දැනුම ලබාගෙන හොඳ වෙලාවක් බලා ව්‍යාපාරය ආරම්භ කිරීමට සිතීම ඉලක්කයට යාමට හැකි මඟ නොවේ. නිවෙසක් සෑදීමට වුවද මෙය අදාළ වේ. යම් පුද්ගලයෙක් නිවෙසක් තැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සියලුම මුදල්, බඩු බාහිරාදිය සූදානම් කරගෙන නිසි කාලය එනතෙක් බලා සිට කරන්නට සිටියහොත් එය කිරීමට නොහැකි වේ.

ලෝකයේ සාර්ථකත්වය ලබා ගත් මිනිසුන්ගේ ජීවිත දෙස බැලීමේ දී දක්නට හැකි පොදු කාරණයක් වන්නේ ඔවුන් හරිම තැනින්, හරිම වේලාවේ, සියල්ල එක්රැස් කරගෙන සාර්ථකත්වය කරා ගමන් කළ පුද්ගලයන් නොවන බවයි. ඔවුන් ලැබුණු දෙයකින්, අතේ ඇති දෙයින්, හැකි ආකාරයෙන් තමාට හැකි උපරිමය කිරීමෙන් පියවරෙන් පියවර සාර්ථකත්වය සොයා ගිය පුද්ගලයන් ය. සරලව ම පැවසන්නේ නම් ඔබ යම් දෙයක් ආරම්භ කිරීමට සිතන්නේ නම් එයට අදාළ කාරණා සම්පූර්ණ වනතෙක් බලා නොසිට දැනට කළ හැකි මට්ටමෙන් එය ආරම්භ කරන්න.

එමෙන්ම නිවෙසක් හැදීමේ දී අවශ්‍ය මුදල් සියල්ල එකවර ලැබෙන තෙක් බලා නොසිට අද සිටම කුඩාවට හෝ වෙනම ඉතුරුම් ගිණුමක් ආරම්භ කොට එහි යම් මුදලක් ඉතිරි කරන්න. ඔබ තවමත් රැකියා විරහිත තරුණියක් නම් ඔබේ සිහින රැකියාව ම කිසිවකු නිවෙසට ම ගෙනවිත් දෙනතෙක් බලා නොසිටිය යුතුය. ඔබ රැකියා ලොවට පිවිස කුමක් හෝ රැකියාවක් කළ යුතුය. ඉන් අත්දැකීම් එකතුකරගත යුතුය. ඒ ඔස්සේ ඔබේ කැමැත්ත ඇති රැකියාව කරා යාමට ඔබට හැකියාව ලැබේ. එමනිසා සිතේ ඇති දේ ක්‍රියාත්මක කරන්න. එවිට වැරැදීම්වලට මුහුණ දෙමින් හෝ ඔබට ක්‍රම ක්‍රමයෙන් තමාට අවශ්‍ය ගමනාන්තය කරා ළඟා වීමට හැකි වේ.

ඔබට යම් ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය හා දැනුම ලබා ගැනීමට ඒ පිළිබඳ සිත සිතා සිටීම ඵලක් නැත. ඔබ කළ යුත්තේ ඔබ කැමැති ව්‍යාපාරය කිරීමට අවශ්‍යවන දැනුම, ප්‍රාග්ධනය සොයා ගත හැකි වෙනත් ව්‍යාපාරයක නියැළීමයි. එවිට ඔබට දැනට අරඹා ඇති ව්‍යාපාරයේ ඉදිරියට යමින් වැරදෙමින්, පාඩු ලබමින්, ලාබ ලබමින් ටිකෙන් ටික ඔබගේ සිහින ව්‍යාපාරය වෙත ළඟා වීමට හැකියාව ලැබේ.

ලෝකයේ සාර්ථකත්වය ලබා ඇති බොහෝ පුද්ගලයන් තම සාර්ථකත්වය ලබා ඇති ආකාරය අපට පෙනුණත් ඒ සඳහා ඔවුන් ක්‍රියාත්මක වූ ආකාරය අපට නොපෙනේ. ඒ බොහෝ දෙනා එක්වරම සාර්ථකත්වය ලබා ගත් පුද්ගලයන් නොවේ. ඔවුන් වැරැදි වැරැදි යම් යම් දේ සිදුකර ආරම්භ කළ මුල්ම ව්‍යාපාරය පමණක් නොව, දෙවැනි තෙවැනි අවස්ථාවල පවා අසාර්ථකත්වයේ අමිහිරි අත්දැකීම් ලබා ඉන් ලබා ගත් අත්දැකීම් මඟින් තමාගේ සාර්ථකත්වය ළඟාකර ගත් පුද්ගලයන් වේ.

අපේ රටේ බොහෝ දෙනා යමක් සිදුකර අසාර්ථක වීමට ඇත්තේ දැඩි බියකි. ඒ සඳහා බලපාන බොහෝ හේතු පවතී. සමාජ උපහාසයට ලක්වීමට සිදු වියහැකි බව සිතීම, තමාගේ අතේ ඇති දෙයත් නැති වී යාහැකි වේ යැයි ඇති බිය, පවුලේ අය දෝෂාරෝපණය කරාවි යැයි ඇති භය, මිතුරන් සමච්චල් කරාවි, සමාජයෙන් ප්‍රතික්ෂේප වේවි යනාදී ලෙස හටගැණුනු බොහෝ කරුණු වලට ඇති බිය මේ සඳහා හේතු වේ. ඇතැම් තරුණ පිරිස් සඳහා ඉතා කුඩා තීරණයක් පවා තනිව ගැනීමට ඇති නොහැකියාව දකින්නට ලැබෙන්නකි. මෙය දුර්වල පෞරුෂ ලක්ෂණයකි. ක්‍රියාත්මක වීමට ඇති බිය අපිට සාර්ථකත්වය කරා යාමට ඇති අවස්ථාව අහිමි කරයි.

එමනිසා සාර්ථක වීමට යම් බලාපොරොත්තුවක් ඇත්නම් සියල්ල සම්පූර්ණ වනතෙක් බලා නොසිට අදම ක්‍රියාත්මක විය යුතුය. ඒ සඳහා හොඳම නැකත, හොඳම වයස, සියලු දෙනා ඔබට උදවු කරනතෙක්, ආශීර්වාද කරනතෙක් බලා ඉන්න එපා. වෙළෙඳපොළ ඔබ අපේක්ෂිත ආකාරයට වෙනස් වන තෙක් බලා සිටින්නට එපා. ඔබ කළ යුත්තේ ඔබට හැකි පමණින්, අතේ ඇති දෙයකින්, තමා සතු දැනුමින් ගමන ආරම්භ කිරීමයි. ගමන යන අතරතුර ඔබට අනෙක් දේ ළඟාකර ගැනීමට තරම් හැකියාවක් ද ඉන් ඔබට ලැබෙනු ඇත. එවිට ඔබට අත්දැකීම් ලබමින්, වැරැදි නිවැරැදි කරගනිමින් ඉදිරියට යාමට හැකි වනු ඇත.

මුකුත්ම නොකර සිටිනවාට වඩා යමක් කිරීමට උත්සාහයක් හෝ වැදගත් බව සිතට ගන්න. අදම ක්‍රියාත්මක වන්න. මෙය ඔබ සතු අධ්‍යාපන, ක්‍රීඩා, ශාරීරික සෞඛ්‍ය, රැකියා, යුතුකම්, අධ්‍යාත්මික ආදී කුමනාකාරයේ ඉලක්කයක් හඹා යාමට වුවද හැකි සාර්ථකම ක්‍රමවේදයයි.

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු