මනසින් වැටී සතුට අතනාරින්න

පෙබරවාරි 6, 2019

අපේ ජීවිතයේ විවිධාකාර සිදුවීම් සිදුවෙනවා. වැඩි ප්‍රමාණයක් අපි කලින් බලාපොරොත්තු නොවුණු දේවල්. හෙට සිදුවෙන දේ අපි නොදන්නවා වුණත් ඊයේ සිදුවූ දේ දන්නවා. ඒත් පෙරේදා ඒක හරියට දැනගෙන හිටියේ නැහැ නේද? උදාවන හෙට ගැන අද අපි නොදැන හිටියත් හෙට වෙනකොට අපි නොදැන සිටින්නේ අනිද්දා ගැනයි. මේ විදියට අපේ ජිවිතය ඉස්සරහට යනවා.

කථාවක් තියනවා සිදුවීම් සිදුවන්නේ වැලපී හඬාවැටීමටවත්, උද්දාමයෙන් සිනාසීමටවත් පමණක් නොවේ කියලා. බොහෝ සිදුවීම්වලදී සංවේදී මිනිස්සු විදියට කඳුළ හා සිනහව මතුවුණත් ඒ එකක්වත් සදාකාලික නොවන බව සිහියෙන් සිතිය යුතුයි. එවිට ඒ මොහොතින් පසුවත් අපිට අපේ ජීවිත වඩා හොඳින්, වඩා තෘප්තිමත්ව ඉස්සරහට ගෙනියන්න හැකිවේවි. වැඩි දෙනෙක් මේක අමතක කරන නිසාම අතීතය, අතීතයේ නොතබා එහි අමිහිරි මතක වර්තමානයට ගෙන වර්තමානයේදීත් අතීත දුක් වේදනාවේම ගිලෙනවා.

අනිත් කාරණේ තමයි අතීත සතුටේ මේ විදියට හුඟ දෙනෙක් යන්නෙ නැහැ. ඒකට එක හේතුවක් වර්තමානයේ දුක් ඔහුට හෝ ඇයට අතීත සතුට මතක් කිරීමත් නවත්වන එක. කොහොම වුණත් සියලු අතීත සිදුවීම් අවසන්ව අපි අද වර්තමානයේ ජීවත්වන බව සත්‍යයක්. ඉතින් අද අප මුහුණ දෙන මොනතරම් දුක්ඛිත දෙයක් වුවත් හෙට වනවිට සතුටකට පෙරළීමේ ඉඩක් ජීවිතය තුළ පවතින බව ඔබේම අතීත අත්දැකීම් අවුස්සා බැලුවහොත් ඔබට පෙනේවි. හැම සිදුවීමක්ම අත්දැකීමක්ම සුබවාදීව ඔබේ ජීවිතයට අරගන්න. ඔබේ සිත පුරුදු කරගත් දවසට ඔබ වඩ වඩාත් තෘප්තිමත්ව සතුªටින් ජීවිතය ගතකරන අයෙක් බවට පත්වේවි. සමහරවිට ඔබ අසීරු අර්බුදකාරී අවස්ථාවලදී මානසිකව ශක්තිමත් වී ඒ අවස්ථාවට මුහුණ දීම තුළම නොසිතන අනපේක්ෂිත විසඳුම් ඔබ ඉදිරියේ ඇතිවූ අවස්ථා ඇති. හොඳින් කල්පනාකර බලන්න. සමහරවිට ඔබ කිසිසේත් විශ්වාස නොකළ සේ අර්බුදවලින් ගැලවී තිබෙන අවස්ථා ඇති. ඔබට යම් යම් ජයග්‍රහණ ලැබී තිබෙන අවස්ථා ඇති. සමහර විට බුදු දහමට අනුව එය කර්ම ශක්තිය මත සිදුවූ දෙයක් විය හැකියි. කතෝලික දහමට අනුව දෙවියන් වහන්සේගේ කැමැත්ත විය හැකියි. කුමන අයුරකින් හෝ ඔබ නොසිතූ ලෙස අර්බුදයෙන් ගැලවී තිබෙනු ඇත.

2019/02/06 තරුණි පුවත්පත බලන්න.