ජීවිතය දිනන්න.. සැබෑ සාර්ථකත්වය සොයා යන්න

ජූලි 10, 2019

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

සාමාන්‍ය ජීවිතයක් ගත කරන සෑම පුද්ගලයකුගේ ම මූලික අරමුණ වන්නේ සාර්ථකත්වය යි. ජීවිතය සාර්ථක කරගැනීමට උත්සාහ කරන ඔබට අත්වැලක් වන්නට අද සිට ඇරැඹෙන මෙම ලිපි මාලාව ජීවිතය දිනන්නට ඔබට රුකුලක් වනු ඇති.

සාර්ථකත්වය සොයා යන ඔබ සාර්ථකත්වය යනු කුමක්දැයි හරියට ම දන්නවාදැයි ඇසුවහොත්.. ඔව් ඔබ එක් එක් දේ සාර්ථකත්වය ලෙසින් පවසාවි. අපි ඇතැම් වෙලාවට සාර්ථකත්වය මැනීමට උත්සාහ ගන්නේ තවත් පුද්ගලයකු දෙස බලා ඔහු සතු වූ දේ දැක ගැනීමෙනි.

ශිෂ්‍යයකු විසින් උසස් පෙළ විභාගය සඳහා ඒ සාමාර්ථ්‍ය ලබා ගැනීම ඔහුගේ සාර්ථකත්වය ලෙසින් අනෙක් ශිෂ්‍යයන් දැකිය හැකියි.

ඒ වගේම තවත් අයකුට හොඳ නිවෙසක් තිබීම ඔහුගේ සාර්ථකත්වය ලෙසින් දැකිය හැකියි. විදෙස්ගත වී සිටින පවුලක් ගැන ' ආ.. එයාලා දැන් සාර්ථක වෙලා.. හොඳ ගෙයක් තියෙනවා. ඒකෙ ස්විමිං පූල් එකකුත් තියෙනවා. ළමයි ඉගෙන ගන්නෙත් ඒ රටේමයි.' යනුවෙන් සිතිය හැකියි. මේ අනුව අපට දකින්නට ලැබෙන්නේ බොහෝ දෙනෙක් තවත් අය දෙස බලා ඔවුනට ඇති දේ ගැන සිතා යම් යම් සංකේත සාර්ථකත්වය ලෙස සිතන බවයි.

ඒ නිසා තමන් විසින් ද එම සංකේත කෙසේ හෝ ලබා ගැනීම සාර්ථකත්වය බව බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් අපි නිකමටවත් අපිටත් අවශ්‍ය වන්නේ එයමදැයි සිතා බැලීමට තරම් සංවේදී නොවේ.

පාසලෙන්, මවුපියන් වෙතින්, සමාජයෙන් පවා බොහෝ විට අප තල්ලු කරන්නේ කලින් හැදූ එම රාමු තුළටමයි.

මවුපියන් විසින් අද දරුවන්ට දක්වන පීඩනයට ලොකුම හේතුව වන්නේත් මේ සාර්ථකත්වයේ රාමුවයි.

මවුපිය දෙදෙනාම සාර්ථක වෛද්‍යවරුන් වූ එක් දරුවකුට තමාටත් වෛද්‍යවරියක වීමට අවශ්‍යතාවක් වූයේ නැහැ. ඇය එයට කෙසේවත් කැමැති වූයේ නැහැ. ඇයගේ මිත්තණිය ඇගෙන් 'එහෙනම් ඔයා මොනවද කරන්න කැමැති..' යැයි ඇසූ විට ඇය ලබා දී ඇති පිළිතුර වූයේ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වීමට යන්නයි.

එසේ නැති වුවහොත් වෝහාරික වෛද්‍ය විද්‍යාව හැදෑරීමට කැමැති බව පවසා ඇත. පසුව ඇය විදෙස්ගත වී මෝස්තර නිර්මාණය පිළිබඳ උපාධියක් ලබාගෙන දැන් හරි සතුටින් තමාගේ ක්ෂේත්‍රයේ ඉහළ තත්ත්වයක වැඩ කටයුතු කරයි.

මවුපිය දෙදෙනා මහාචාර්යවරු වූ එක් තරුණයකුට මවුපියන් බලකර තිබුණේ ආචාර්ය උපාධිය ලබා ගන්නා ලෙසයි.

මවුපිය බලාපොරොත්තු ඉටු කළ පසුව ඔහු තමාට අවශ්‍ය වූ ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබා ගත්තා. ඒ සූපවේදීයකු ලෙසයි. අද ඔහු ලෝකයේ සිටින ප්‍රමුඛ පෙළේ සූපවේදියෙක්. ඒ ඔහුගේ සාර්ථකත්වයයි.

තවත් එක් පුතෙක් සිය දිවි නසා ගත්තා. එයට හේතුව සොයා බැලීමේ දී පෙනී ගියේ ඔහු සංගීතයට ඉතා ළැදි දරුවකුව සිට ඇති බවයි.

එහෙත් මවුපියන්ට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ ඔහු ඉංජිනේරුවරයකු බවට පත් වනු දැකීමටයි. දරුවා සියදිවි නසාගෙන තිබුණේ මේ පීඩනය දරා ගැනීමට නොහැකි වූ නිසයි.

විශ්වවිද්‍යාලයක වෛද්‍යවරයකු පැවසුවේ ඔහු ළඟට එන ළමයින්ගෙන් බොහෝ දෙනකුට පැවතියේ එම වයසට සරිලන රෝග නොවන බවයි. හැමදාම හිසරදයෙන් පෙළුණු එක් ශිෂ්‍යයකු සිටි අතර ඔහු සමඟ තරමක් තොරතුරු කතා බහ කළේ රෝග නිධානය සොයා ගැනීමටයි.

එහිදී හෙළි වූයේ එම ශිෂ්‍යයාට දැනට සිවිල් ඉංජිනේරු පාඨමාලාව හැදෑරීමට සිදු වී තිබුණ ද ඔහු වැඩි කැමැත්තක් දක්වා ඇත්තේ ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව සඳහායි.

මේ උදාහරණවලින් පැහැදිලි වන්නේ සාර්ථකත්වය සොයා යන්නට මවුපියන් විසින් තල්ලු කරන අවස්ථාවන් කිහිපයක්.

මගේ ජීවිතය දෙස බැලුවොත් කුඩා කාලයේ දී මම ලිවීමට වැඩි කැමැත්තක් දැක්වූවා. මම මිහිර පත්තරේට ලියනකොට මට වයස අවුරුදු 10ක් විතර ඇති. පාසලේ 6 පන්තියේ දී සඟරාවක් අතින් ලියලා සංස්කරණය කළා.

මම ඒවා කරන විට වැඩිහිටියන්ගෙන් බලපෑම් එල්ල වුණා.

ඔවුන් පැවසුවේ 'ඕවා කරලා හරියන්නේ නෑ.. ලේඛකයෝ කොහොමද සාර්ථක වුණේ..' කියන එකයි. ඒ නිසා මම විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තා.

ඒත් මම උසස් පෙළ සමත් වුණේ නෑ. මම ආපහු පැමිණියේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයට.

ඒ කියන්නේ මම නැවත සොයා ගත්තේ මගේ සහජ දක්ෂතාව පැවැති ලිවීමේ ක්ෂේත්‍රයට.

මේ වෙනකොට මම පොත් 15කට වඩා ලියලා තියෙනවා. කළමනාකරණය පිළිබඳ සිංහලෙන් පොත් ලිවීමට පුරෝගාමී සේවාවක් කිරීමට මට හැකි වුණා.

කොහොම වෙතත් මම අන්තිමේ දී නැවත ඇවිත් තිබුණේ මගේ සහජ දක්ෂතාවක් වූ සන්නිවේදන හැකියාව ප්‍රයෝජනයට ගතහැකි ස්ථානයකටයි.

ව්‍යාපාරික ලෝකයේ දී වුවත් මම නායකයෙක් හැටියට කටයුතු කිරීමේ දී මගේ ප්‍රබලම ශක්තිය වුණේ මා තුළ ඇති සන්නිවේදන හැකියාවයි. මගේ වැඩිහිටියෝ ඒ කාලේ මගේ මේ දක්ෂතාව පිළිබඳ අඳුනාගත්තා නම් මම මෙයට වඩා වෙනස් ගමනක් යන්න තිබුණා.

මෙහිදී අපට කාරණා තුනක් පැහැදිලි කරගත හැකියි.

ඉන් එකක් වන්නේ, අපි සාර්ථකත්වය ලෙස නිර්වචනය කරගන්නේ අපිට පෙනෙන්ට තිබෙන අනිත් අයගේ ජීවිතවල තියෙන සාර්ථකත්වය යැයි අපි හිතන සංකේතයන් ය. අපිත් එම සංකේත ලබා ගත් විට අපි සාර්ථක බව හිතන්නට පෙලඹෙනවා.

දෙවැනි කරුණ වන්නේ, අපි හිතනවා ඒ සංකේත ලබා ගැනීම සහ ඒ සාර්ථකත්වය කියන රාමුවට මමත් ගියොත් මමත් සාර්ථක වෙන්න පුළුවන් බව. ඇත්තටම ගත්තොත් සාර්ථකත්වය කියන එකේ සන්තෝෂය නැත්නම් එතැන සාර්ථකත්වයක් නැති බව කියන්න පුළුවන්.

අපි කොතරම් හොඳ ඉලක්කයක් කරා කවුරුන් විසින් හෝ මෙහෙයවුවත් එතැන අපේ හිතේ සතුට නැතිනම් එය සාර්ථකත්වයක් ලෙස සැලකිය නොහැකිය.

තුන්වෙනි කරුණ ලෙස දැක්විය හැකි වන්නේ අපි පුද්ගලයකු තුළ ඇති සහජ දක්ෂතාව සොයාගෙන එය දියුණු කිරීමෙන් සාර්ථකත්වය ළඟාකර ගත හැකි බවයි. එතකොට අපේ සහජ දක්ෂතාවන් සහ ඉන් මොනවද සිදු කළ හැකි යන්න සොයා ගැනීම සාර්ථකත්වයට යන මාර්ගය ලෙස මම දකිනවා.

වැඩිහිටියන්ගේ විශේෂ වගකීමක් තියෙනවා දරුවන්ගේ අනාගතය තීරණය කිරීමේ දී අපි නොදන්නා අනාගතය වෙනුවෙන්, අපි දන්නා අතීතයේ අත්දැකීම් පමණක් යොදා නොගැනීමට.

අතීතයේ මාස්ටර් යන නම භාවිත වන වෘත්තීන් පැවතුණේ ඉතා සීමිත සංඛ්‍යාවක්. පෝස්ට් මාස්ටර්, ස්ටේෂන් මාස්ටර්, ස්කූල් මාස්ටර් වැනි ඒවා එකල පැවතියත් අද වෙබ් මාස්ටර් යන තනතුරක් අලුතින් නිර්මාණය වී තිබෙනවා.

පුළුල්ව හිතන්න පුරුදු වුණොත් අපිට සොයා ගත හැකියි සාර්ථකත්වය කරා යන්නේ කෙසේද යන්න හා සාර්ථකත්වය යනු කුමක්දැයි යන්න.

 

ඡායාරූපය - ද ගයාන් පුෂ්පික

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.