ඔබත් ණය නැති බය නැති ජීවිතයක් ලබන්න කැමැතිද?

ජූලි 17, 2019

ජීවිතය දිනීම කාගේත් අභිප්‍රායයි. එහෙත් ඒ සඳහා නිවැරැදි මාර්ගය සොයා ගත යුතුය. නිවැරැදි මාර්ගයේ නොගොස් දියුණු වීමට, ජීවිතය දිනීමට නොහැකි ය. එහෙත් තරුණී ඔබට ගෙනෙන මේ ලිපි පෙළින් අත්වැල් සපයන්නේ ඔබේ දියුණුවේ මං සොයා යාමටයි.

දියුණුව යනු කුමක්දැයි යන්න අපි පසුගිය ලිපියෙන් ඔබට පැහැදිලි කළෙමු. දියුණුව කරා යන ගමනේ දී පුළුල් වුවත් සරල වූ නිර්ණායක හතරක් යෝජනා කළ හැකියි. ඇත, හැක, නැත, ඇත යන්න එම නිර්ණායකයන් ය. බුද්ධ දර්ශනයේ එන අත්ථි සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ යන්න ආදර්ශ කොට සකසන ලද නිර්ණායකයකි.

මෙයින් අදහස් කරන්නේ, අප බොහෝ වෙලාවට ආර්ථික අතින් ගත්ත ද කල්පනා කරන්නේ නැති දේ ගැනයි. තමාට දැන් තිබෙන දේ පිළිබඳ සතුටක් තිබිය යුතුයි. උදාහරණයක් ලෙස ලොතරැයි විකුණන්නකු ගත හැකියි. ඔහුට ලොතරැයි පිළිබඳ විශ්වාසයක් නැත. ඒ පිළිබඳ විශ්වාසයක් තිබුණා නම් ඔහු එම ලොතරැයි විකුණනවා වෙනුවට සියලුම ලොතරැයි තමාම තබා ගන්නවා නියතයි. ලොතරැයි පිළිබඳ විශ්වාසයක් පවතින්නේ ඒවා මිල දී ගන්නා පුද්ගලයන් තුළයි. එම නිසා ලොතරැයි විකුණන පුද්ගලයන් තුළ 'ඇත' යන්නට වඩා පවතින්නේ නැත යන හැඟීමයි.

සිරගත වී සිටින ඇතැම් පුද්ගලයන් ඉන් පැන යාමට උත්සාහ කරන්නේ කුඩා පීරක්, බාල්දි කොක්කක්, නියනක් වැනි කුඩා ද්‍රව්‍යයකින් හාරා, ගල් ඉවත්කර උමඟක් තැනීමෙනි. ඔවුන්ට මෙය කළ හැකි වන්නේ ඇයි? ඔවුන්ට තියෙනවා 'ඇත', නැතිනම් මට මෙය කිරීමට පුළුවන් යන හැඟීම. ඒ අනුවයි ඔවුන්ට මෙවැනි දෙයක් කිරීමට හැකියාව ලැබෙනුයේ.

ආර්ථිකය සම්බන්ධයෙන් අපටත් මේ 'ඇත' කියන හැඟීම තිබිය යුතුයි. සාර්ථකත්වයේ පළමු පියවර වන්නේ මට තියෙනවා කියන හැඟීම හිතට පැමිණීම යි. මෙය හිතට නිකන්ම පැමිණෙන හැඟීමක් නොවේ. ඒ සඳහා තමාට යම්කිසි ප්‍රමාණයක් තිබිය යුතුයි. ඒත් ඒ තිබෙන ප්‍රමාණය කොතෙක්දැයි අප දැනගන්නේ කෙසේද? එය අපි 'හැක' යනුවෙන් අර්ථ ගන්වයි. තමාට අවශ්‍ය දේ කිරීමට ආර්ථික ශක්තිය තිබෙන විටදී 'හැක' කියන තත්ත්වයට පැමිණෙයි. අවශ්‍ය දේ අනවශ්‍ය දේ හා අත්‍යවශ්‍ය දේ යන වදන් නියමාකාරයෙන් අර්ථ ගන්වාගෙන නැතිනම් ඇත කියන හැඟීමට තමාට යාමට නොහැකි වේ. එසේ වන්නේ මේ නිර්ණායක දෙක අතර ඉතා සමීප සබඳතාවක් පැවතීම නිසයි.

ලොව වෙසෙන සුප්‍රසිද්ධ ධනපතියකු වූ වොරන් බෆට් පවසා ඇත්තේ "ඔබ අනවශ්‍ය දෙයම නිතර මුදල් වියදම්කර ගන්නා අයකු නම් කුමන මොහොතක හෝ ඔබට අත්‍යවශ්‍ය දේ විකිණීමට සිදු වේ" යන්නයි. උදාහරණයක් ලෙස විවාහ උත්සවයක් ගත් විට විවිධ ආකාරයට විසල් අයුරින් එය කළ යුතු බවට සමාජයේ යම්කිසි රැල්ලක් පවතී. ඒ නිසා තමාට පුළුවන් ප්‍රමාණයෙන් ඉවතට ගිහින් උත්සවය පවත්වයි. මෙය 'හැක' හෝ 'ඇත' යන නිර්ණායක දෙකට ම අයත් නොවේ.

එවිට අනිවාර්යයෙන් ම තුන්වැනි නිර්ණායකයට පැමිණීමට සිදු වේ. ඒ අනුව අනෙක් නිර්ණායකය වන්නේ 'නැත' යන්නයි. නැත යනුවෙන් අදහස් වන්නේ 'ණය නැත' යන අර්ථයයි. ණය වෙන ප්‍රධාන හේතුවක් වන්නේ තමාට පුළුවන් ප්‍රමාණයට එහා යාමට බොහෝ විට උත්සාහ කිරීම නිසයි. මෙහිදී නිවාසයක් සෑදීමට ගන්නා ණය හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගන්නා ණය, හදිසියක් සිදු වූ විට තමාගේ ඉතිරි කිරීම් මදි වී ගන්නා ණය මේ ගණයට අයත් නොවන බව ද පැවසිය යුතුයි. එහෙත් බොහෝ වෙලාවට වැඩි පිරිසක් ණය වෙන්නේ මෙය මේ මොහොතේ අවශ්‍ය ද? අනවශ්‍ය ද? අත්‍යවශ්‍ය ද යන තීරණය නොගෙන වියදම් කිරීමට යාමෙනි.

මෙලෙසින් ණය වූ විට එම පුද්ගලයාට නිවැරැදිව ජීවත් වීම යන කාරණය ඉටුකර ගැනීම අපහසු වේ. ඔහුගේ ජීවිතයේ ගැටලු හා වැඩි අවශ්‍යතා ආදිය නිසා ඔහු පීඩාකාරීව දිවි ගෙවයි. මෙවැනි පුද්ගලයෙක් වරදට යොමුකර ගැනීම පහසු ය. එවිට නිවැරැදි ජීවිතයක් ගත කිරීමට අපහසු වේ. මෙය චක්‍රයක් බව අප තේරුම් ගත යුතුය. මට ඇත කියන සතුට තියෙන්න නම් මට කරන්න තියෙන්න දේවල් සිදු කිරීමෙන් අනතුරුව පසුතැවිලි නොවන ආර්ථිකයක් තිබිය යුතුයි. එවැනි ආර්ථිකයක් ලබා ගැනීමට නම් කරන්න පුළුවන් දේවල් සහ අපේ ආර්ථිකය අතර සමබරතාවක් පවත්වා ගත යුතුයි.

වොරන් බෆට් වරෙක පවසා ඇත්තේ ඔහු අඳින්නේ ගොඩක් ලාබ ඇඳුමක් යැයි දකින අයට හිතෙන ආකාරයේ ඇඳුම් බවයි. එහෙම ජීවත් වන පුද්ගලයාට ණය වීමට අවශ්‍යතාවක් ඇති නොවේ. අපේ සමාජයේ පවතින 'මම ණයත් නෑ බයත් නෑ' කියන වාක්‍යයේ අපි හිතනවාට වඩා අර්ථයක් ගැබ් වී තිබේ. මන්ද ණය නැති බය නැති පුද්ගලයා කිසිම විටෙක වැරැද්දකට යොමුකර ගැනීම පහසු නොවේ. වැරැදි සඳහා යොමු කරගත හැකි වන්නේ ණය ගැනීම් වැනි දේවලින් අපහසුතාවට පත් වූවන් ය. අල්ලස් ගැනීමට පවා යොමුකර ගත හැකි වන්නේ අයථා ක්‍රම මඟින් ඉපැයීම් කරන්නේ මෙවැනි පුද්ගලයන්. මෙම පුද්ගලයන් කොතෙක් තිබුණත් මදි යන හැඟීම ඇති අයයි.

කොහොමද මෙහෙම වෙන්නේ? අපේ වියදම් තීරණය වන්නේ අපි කරන වරණයන් නැතිනම් තෝරා ගැනීම් මතයි. අපි තෝරා ගන්නේ කුමක්ද යන්න තීරණය වන්නේ අපි ජීවත්වන රටාව අපේ ප්‍රතිපත්ති අනුවයි. ඒ දේවල් තීරණය වන්නේ ඔහුගේ වටිනාකම් හා හර පද්ධතිය අනුවයි. උදාහරණයක් ලෙස විවාහ උත්සවයක් ගත් විට ඒ සඳහා යන වියදම තීරණය වන්නේ අප ඒ වෙනුවෙන් ගන්නා තෝරා ගැනීම් අනුවයි. උත්සවය පවත්වන්නේ කුමන ස්ථානයකද? කී දෙනකුට ආරාධනා කරනවද? මේකෙ තියෙන අංග මොනවද? යනාදී දේවල් මතයි. ඒ දේවල් තීරණය වන්නේ තමාගේ ජීවන රටාව අනුවයි. චාම් ලෙස ජීවත් වන පුද්ගලයකුගෙන් කිසි කෙනෙක් අරුමෝසම් මංගල උත්සවයක් බලාපොරොත්තු නොවේ. තමා යමක් කිරීමේ දී එහි තේරුම ගැන වටහාගෙන සිදු කළ යුතුයි. ඇතැම් අය පරිසරයට කිසිදු හානියක් නොවන අයුරින් ක්‍රියා කරයි. එවැනි දේවල් හර පද්ධතීන්, ප්‍රතිපත්ති ලෙස සැලකීමට පුළුවන්.

සාර්ථකත්වයේ ප්‍රධානම දෙයක් වන්නේ ආර්ථික දියුණුවයි. ආර්ථික දියුණුවක් ලබා ගැනීමට නම් අපි අපේ හර පද්ධතිය සකසා ගත යුතුයි. ඒ අනුව ජීවන රටාව සැකසෙන නිසා එයින් තමා ගන්නා වරණයන් තීරණය වේ. වරණයන් අනුව වියදම් තීරණය වන නිසා තමාට ඇත ද නැත ද යන තීරණය ගත හැකි වේ. එසේ කරන අයකුට ණය වීමට අවශ්‍ය නොවේ. ණය නැති නිසා වැරැදිවලට යොමු නොවේ. එවිට තමාගේ හෘදය සාක්ෂියට අනුව ජීවත් විය හැකි අතර හොඳ නින්දක් ලබා ගැනීමට හැකි වේ.

'හරි' (හරියට ජීවත් වීම) හරියට ජීවත් වීම අනෙකුත් සියලු දේට වඩා වටින්නේ අප ලබා ගන්නා අනෙකුත් සියලුම සාර්ථකත්වයන් දිනෙක අත්හැර යාමට සිදු වුවද අපට ගෙන යාහැකි දේ එක් රැස් වන්නේ නිවැරැදිව ජීවත් වීම තුළ වීම නිසයි. එමනිසා මෙය ජීවිතයේ වටිනාම දෙයයි.

සටහන - අයන්ති උඩුගම්පල

ඡායාරූපය - ද ගයාන් පුෂ්පික

උපදෙස් - කළමනාකරණ උපදේශක දීපාල් සූරියආරච්චි