යහපත් ඉලක්කයක් කරා කැපවීමෙන් හඹා ගිය ‘ඉක්බාල්’

ජූලි 24, 2019

Home Theat

පසු ගියදිනවල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් මුළු ලොවම උණුසුම් විය. කිරුළ දිනා ගත්ත ද එංගලන්තය වුව ද එය ඉක්බාල් දිනාගත් ජීවන ශූරතාව තරමට නම් නොවටින්නේය. ‘ඉක්බාල්’ (ධ්ඳඡචත) කෙසේ හෝ සොයාගෙන නැරඹිය යුතු සිනමා පටයක් වන්නේ එනිසාය.

ඉක්බාල් ගොළු බිහිරි පිරිමි දරුවෙකි. ගොවියකුගේ දරුවකු වුවත් ඔහු සිහින මැව්වේ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වීමටය. එහෙත් පුතුගේ සිහිනය යථාර්ථයක් කළ නොහැකි දවල් සිහිනයකැයි පියා සිතුවේය. ඔහුට අවශ්‍ය වූයේ පුතු ද ගොවියකු කිරීමටයි.

පියා සහාය නොදුන්නත් සොයුරිය කදීජා නිවෙස අසළ පිහිටි ක්‍රිකට් ඇකඩමියට යාමට සොයුරු ඉක්බාල් දිරිමත් කළාය. ඒ ඇකඩමිය පවත්වා ගෙන ගියේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු විසිනි. ඔහු ඉක්බාල් ගේ හැකියාව හඳුනා ගත් නමුත් ඉක්බාල් සහ ඇකඩමියේ ධනවත් පිරිමි ළමයකු වූ කමල් අතර පැවැති තරගයෙන් බියට පත් විය. ඇකඩමියට මුදල් යෙදවූයේ කමල්ගේ පියා විසිනි. එනිසා ඉක්බාල්ට ඒ ඇකඩමියේ දොර වැසිණි.

බීමට ඇබ්බැහි වූ කලක් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටි මොහිත්ගෙන් ඉක්බාල් පිහිට පැතුවේ සිය සිහිනයට අත්තටු ඉල්ලන්නාක් මෙනි. මෝහිත් ඉක්බාල්ගේ පුහුණුකරු වීමට එකඟ විය. ඔහු පුහුණුව ලබා දුන්නේ අසල කුඹුරේ මී ගවයන් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ලෙස සලකා ගෙනයි. මී ගවයන්ට සැබෑ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ගේ නම් තබන ලදි. මී ගවයන්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමත් සමඟ මෝහිත්ගේ මඟ පෙන්වීමෙන් ඉක්බාල් දක්ෂ ක්‍රීඩකයකු විය.

මින් පෙර කිසි දිනක ක්‍රිකට් තරග අත්දැකීම් ලබා නැති ඉක්බාල්ට මෝහිත් අන්ද්‍රා ප්‍රදේශයේ රාණි කුසලාන කණ්ඩායම වෙනුවෙන් සටන් වැදීමට අවස්ථාවක් ලබා දුන්නේය. ඔහු එක්වීමට පෙර රාණි කුසලාන කණ්ඩායම දුර්වල කණ්ඩායමක් විය.

ඉක්බාල්ගේ ප්‍රතිවාදියා වූයේ කමල්ය. යළිත් කමල් නිසා ඉක්බාල්ගේ ක්‍රිකට් ඉලක්කයට එල්ල වූයේ දැවැන්ත තර්ජනයකි. කමල්ගේ ක්‍රිකට් පුහුණුකරු කලින් ඇකඩමියේ දොර ඉක්බාල්ට වැසූ ක්‍රිකට් නායකයා මෙවර ඉක්බාල්ට අල්ලස් දී දුර්වල ලෙස පන්දු යැවීමට ඔහුව පෙලඹවිය. කමල්ට ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට නම් කමල්ගේ කණ්ඩායම ඒ ක්‍රිකට් තරගය අනිවාර්යයෙන්ම ජය ලැබිය යුතු විය. මිල මුදල්, බලය, අයුක්තිය ඉදිරියේ ඉක්බාල් නැඟී සිටින්නේ ආත්ම ශක්තියේ බලය ලොවටම පෙන්වමිනි. ඉක්බාල්ට හඬක් නොතිබිණි. ඔහුගේ හඬේ සවන් දෙන්නා වූයේද ඔහුමය. එහෙත් යහපත් ඉලක්කයක් පසුපස හඹා ගිය ඉක්බාල් තමන් වෙනුවෙන් හඬ නඟන සහස් සුවහස් රසික කැලක් බිහි කළේ උත්සාහය උක් දණ්ඩක් වැනි බව ලොවට පවසමිනි.

2016 අගෝස්තු 18 වැනි දින හැත්තෑවැනි ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් නිර්මාණය කළ ‘ඉක්බාල්’ ඉන්දීය ජාතික සිනමා උළෙලේ වෙනත් සමාජ ගැටලු ගැන කතා කරන සිනමා පට අංශයෙන් හොඳම සිනමා පටය ලෙස තේරිණි.

මෝහිත්ට රඟපෑ ප්‍රවීණ නළු නස්රුදීන් ෂා හොඳම සහාය නළුවා ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. ඉක්බාල් චරිතය රැඟුවේ ෂ්‍රෙගාස් තල්පාඩේය. හිටපු ඉන්දිය ක්‍රිකට් නායක කපිල් දේව්ගේ ගරු රංගනයක්ද මීට ඇතුළත්ය. නාගේෂ් කුකුනූර් අධ්‍යක්ෂණය කළ ‘ඉක්බාල්’ දරුවන්ට යහපත් ඉලක්ක කරා කැපවීමෙන් හඹා යාමට දිරි දෙන විශිෂ්ට ඉන්දීය සිනමා නිමැවුමකි.

‘ඉක්බාල්’ ට්‍රේලරය අන්තර්ජාලයෙන් නැරඹිය හැකි අතර සිනමා පටයේ පූර්ව දර්ශනපටය ජය පැරදුම එක් ලකුණකින් දෝලනය වන අවසන් පන්දුව මෙන් කුතුහලයක් හදවතෙහි ඉතිරි කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.