අයන් එකේ පැල්ලම් ද?

ජූලි 24, 2019

කාර්යබහුල අද කාලයේ අපි රෙදි මදින්නේත් කලබලයෙන්. ඒත් මේ කලබලය නිසාම කැමැතිම ඇඳුම පිච්චෙන්නත් පුළුවන්. එතකොට නම් හිත දෙවිදියකට රිදෙනවා.

එකක් අයන් එකේ පිලිස්සුණු රෙදි කෑලි තැවරීම. අනෙක ඇඳුම පිලිස්සීම. ඇඳුම යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි වුණත් අයන් එක නම් අපට පිරිසුදු කරන්න පුළුවන්. ඒත් කොහොමද ? වැඩි දෙනකුට තරු විසිවෙන මේ ප්‍රශ්නයට මෙන්න විසඳුම්.

ජලය මේස හැඳි 1 (මිලිලීටර් 15 ක්), බේකිං සෝඩා මේස හැඳි දෙකක් (ග්‍රෑම් 6ක) මිශ්‍ර කරන්න. පල්පයක් සාදාගන්න. පැල්ලම ඇල්ලූ අයන් එක සිසිල් වූ පසු මිශ්‍රණය පැල්ලම ඇති තැන ගල්වන්න.

අයන් එකේ පතුල සම්පූර්ණයෙන්ම පිරිසුදු කරනවා නම් මිශ්‍රණය මුළු පතුලේම ගල්වන්න. මිනිත්තු කිහිපයක් තබන්න. රෙදි කෑල්ලක් තෙමා පල්පය පිස දමන්න.

කන පිරිසුදු කිරීමට ගන්නා කොට්න් බඩ් මඟින් හිල් පිරිසුදු කරන්න.

අප දත් මැදීමට ගන්නා දන්තාලේප ද අයන් එකේ බැඳුණු පැල්ලම් ඉවත් කිරීමට යොදාගන්න පුළුවන්. පැල්ලම ඇති තැන දන්තාලේප ගල්වා ස්වල්ප වේලාවක් තබා පිස දමන්න.

ලුණු මඟින් අයන් පතුල පවිත්‍ර කරන්නේ මෙහෙමයි.

ඉහළම උෂ්ණත්වයට අයන් එක රත්කරගන්න. අයන් එක පසෙකින් තබා සීඩී (සංයුක්ත තැටියක) ආවරණයක ප්‍රමාණයේ කපු රෙදි කෑල්ලක් හෝ ටිෂූ කඩදාසි කිහිපයක් ගෙන ඒ මතට ලොකු කැට ඇති ලුණු ස්වල්පයක් ඉසින්න. ඉන්පසු ලුණු මත අයන් කරන්න. මිනිත්තුවක් දෙකක් පමණ අයන් කරන්න. අයන් එකේ පත්ල අලුතින්ම ගත් අයන් එකක පත්ල මෙන් ඔප වැටී තිබේවි.

පැල්ලම තදින්ම බැඳී ඇත්නම් ලුණු කැට ඇලුමිනියම් පත්‍රයක අතුරා උපරිම උෂ්ණත්වයට අයන් එක රත්කර මදින්න.

තදින් බැඳී ඇති පැල්ලම්වලට ලුණු යොදා මැදීමෙන් පසු ඇමෝනියා ස්වල්පයක් පෙඟවූ රෙදි කැබැල්ලකින් පිස දමන්න. නැවත රෙදි මැදීමට පෙර ඇමෝනියා ගන්ධය නැති වන තුරු අයන් එකේ අඩිය එය නිවුණු පසු හොඳින් පිස දමන්න.

රෙදි මදින සෑම අවස්ථාවකම අයන් එක නිවුණු පසු පතුල හොඳින් පිස දමන්න.

මදින රෙද්ද, ඇඳුම අයන් එකේ ඇලීම වාගේම රෙද්දේ, ඇඳුමේ අයන් එකේ පිලිස්සුම් සටහන ලකුණු වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක ක්ෂණිකව පියවර ගන්න ඕන. පමා කළොත් පිලිස්සීමෙන් රෙද්දේ ඇතිවූ පැල්ලම ඉවත් කිරීම අසීරු වෙනවා. මෙවිට ක්ෂණිකවම පැල්ලම ඇති තැන සිසිල් ජලයෙන් සෝදන්න. එලෙස කළ විට පැල්ලම බොහෝ විට මැකී යනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.