ශ්‍රී ලාංකේය උරුමය ලොවට කියන අසිරිමත් ඇසළ පෙරහර

අගෝස්තු 14, 2019

 

සෙංකඩගලපුර දළදා බුදුරැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්ගේ........

(අරිසෙන් අහුබුදු ශූරීන්)

 

ඇසළ සඳ කඳුකරයට පායා එනුයේ සෙංකඩගලපුරයම සැණකෙළි සිරියෙන් පිරී ඉතිරී යමිනි.

මෙරට ආගමික හා සංස්කෘතික වශයෙන් අතිශය ඉහළ වටිනාකමක් සහිත ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් ඉතාමත් බැතියෙන් යුතුව පැවැත්වෙන්නේ දෙස් විදෙස් බැතිමතුන්ගේ සිත් පහන් කරවමිනි. මේ පෙරහර නියං සමය නිමාවට පත්කරමින් මංගල වර්ෂාව උදෙසා දළදා වහන්සේට පවත්වන උත්සවයක් ලෙස ද හඳුන්වයි. මේ අසිරිමත් පෙරහර මංගල්‍යයේ අතීතය දෙසට යොමුවීමේ දී මෙහි ආරම්භය සනිටුහන් කරනුයේ කිත්සිරි මෙවන් රජ දවස (ක්‍රි.ව. 301-328) ශ්‍රී දළදා වහන්සේ මෙරටට වැඩම කිරීමත් සමඟය. යුගයෙන් යුගය ගෙවී 1952 දී පළමුවැනි විමලධර්මසූරිය රජ දවස ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගලපුරයට වැඩම කළ පසුවද මේ පෙරහර මංගල්‍යය පැවැත්වූ බවට සටහන් වී ඇත. කෙසේ වුවත් මහනුවර රාජධානියේ මුල් යුගයේ මෙම පෙරහර මංගල්‍ය දෙවියන් උදෙසා කැපකර තිබූ අතර ශ්‍රී දළදා මාලිගාව පෙරටු කර පෙරහර මංගල්‍ය පැවැත්වීම ආරම්භ වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747 -1781) රජ දවස 1753 වර්ෂයේ සිට බව ද ඉතිහාස ග්‍රන්ථ සටහන් කරයි.

පෙරහර පෙළ ගැස්ම

එදා මෙදා තුර දේශීයවත් ජාත්‍යන්තරවත් මහත් අවධානයට යොමු වූ මෙම සංස්කෘතික මංගල්‍යය දැක ගැනීමට අති විශාල පිරිසක් මහනුවර ප්‍රදේශයට පැමිණීම වාර්ෂිකව සිදුවෙයි.

ශ්‍රී දළදා පෙරහරෙහි දන්ත ධාතුන්වහන්සේ අවසන් වරට වැඩම කරවා තිබුණේ 1828 දීය. ඒ ඉංගී‍්‍රසි පාලන යුගය වන අතර එකල මෙරට ආණ්ඩුකාර ලෙසට කටයුතු කර ඇත්තේ සර් එඩ්වඩ් බාන්ස්ය. ඉන් අනතුරුව අද වන තුරුම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මාලිගාවෙන් බැහැරව වැඩම කරවා නොමැත. වර්තමානයේදී මංගල හස්තිරාජයා පිට වැඩම කරනුයේ සධාතුªක ධාතූන් වහන්සේ වැඩ සිටින පෙරහර කරඬුවයි.

එකල රටේ සියලු දිසාවේවරු සහ නිලමේවරු මහනුවරට පැමිණ පෙරහරේ ගමන් කරමින් සිය රාජ්‍යපාක්ෂිකභාවය දන්වා සිටී. මෙම පෙරහරේ මුලින්ම ගමන් කරනුයේ කසකරුවන්ය. ඔවුන්ගෙන් පෙන්නුම් කරන්නේ වැස්සට පෙර හෙණ ගැසීමයි. ගිනි පන්දම් මඟින් අකුණු ගැසීමද වලාකුළු හස්තියන් මඟින් ද නිරූපණය කරන බව පැවසේ.

වර්තමානයේ මෙම පෙරහරේ විවිධාකාර වෙනස්කම් පෙන්නුම් කරයි. මෙහි මුලින්ම ගමන් කරනුයේ ආරක්ෂක රථයයි. ඉන්පසුව පිළිවෙළින් කසකරුවන්, ගිනිබෝලකරුවන්, බෞද්ධ කොඩි, දිසා කොඩි, පිත්තල දිසා කොඩි, කඩු ගෙනයන්නන්, හස්තියකු පිට නැඟි පෙරමුණේ රාළ, හේවිසිකරුවන්, ගජනායක නිලමේ , හොරණෑ වාදකයෝ, චාමර නැටුම්, ලී කෙළි කණ්ඩායම්, පන්තේරු කණ්ඩායම් , තාලම් කණ්ඩායම්, තෛයංඩි කණ්ඩායම, කඩුහරඹ, පන්තේරු නැටුම්, ඇත්වෙස්, තාලාං නැටුම්, වේවැල් නැටුම්, උඩැක්කි නැටුම්, යළි තෛයියංඩි කණ්ඩායමක්, තම්මැට්ටම්, පතුරු නැටුම්, වෙස් කණ්ඩායම්, කාරිය කරවන කෝරාළ, නාගසිංගම්, ඉහළට උඩුවියන්, යටින් පාවඩ මතින් කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා ගමන් කිරීම සිදු වෙයි.

ඉන්පසුව මෙම පෙරහරේ පෙළගැස්මට එක්වන්නේ බෞද්ධ කොඩිය, කවිකාර මඩුව, මල්පහන් ගෙන යන්නෝ, වෙස් නැටුම්, දියවඩන නිලමේතුමා, දෙපස මුරයුදකරුවන් සහ චතුකුඩය, බුරුම කොඩි දෙක සහ අවසානයේ ගම් දහයේ විදානේවරු ගමන් කිරීම සමඟ මේ අසිරිමත් පෙරහර නිමාවට පත්වෙයි.

පෙරහර චාරිත්‍ර

මෙලෙස ඇසළ මහ පෙරහර වීදි සංචාරය කිරීමට අමතරව ඒ හා බැඳි චාරිත්‍ර බොහෝය. මුලින්ම කප් සිටුවීම සිදු කරන අතර ඉන්පසුව ඇතුළේ පෙරහර ගමන් කරයි. මුලින්ම වීදි පෙරහර ආරම්භ වන්නේ කුඹල් පෙරහරෙනි. එය දින කීපයක් වීදි සංචාරය කරයි. ඉන්පසුව තවත් දින පහක් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීම සුන්දර දසුනකි. අවසාන රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු දළදා කරඬුව පසුදා පහන් වනතුරු අස්ගිරි විහාරබද ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීම සිදුවෙයි. පසුදා උදෑසන සතර දේවාලවල කපුමහතුන් පේරාදෙණිය ගැටඹේ තොට බලා පෙරහරින් පිටත්ව පෙර වසරේ පුරවාගත් දිය සහිත රන් කෙණ්ඩිය සහ කරඬුව ගෙන මහවැලි නදිය මැදට ගමන් කරනු ලබයි. ඉන්පසුව දිය කැපීම සිදුකර යළිත් ජලය රැගෙන ඒම සිදුකරන අතර අවසානයේ දහවල් පෙරහර පවත්වා මහනුවර ඇසළ පෙරහර නිමාවට පත් කරයි.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙසින් සලකා වැඳුම් පිදුම් කරනු ලබන්නේ දළදා වහන්සේටය. එහි පැවිදි භාරකාරත්වය හිමිවන්නේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමටය.

ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හොබවන ප්‍රදීප් නිලංග දෑල මහතා ද පෙරහර පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“මෙවර පෙරහරේ කරඬුව වැඩම කරන්නේ දළදා මාලිගාවේ ඉන්දිරාජා ඒ ඇතායි. දැනට එම ගෞරවනීය කටයුත්තට සුදුසුම ඇතායි. අසනීප තත්ත්වයක් නිසා නැඳුන්ගමුවේ රාජා පෙරහරට සම්බන්ධ වන්නේ නැහැ. ඒ නිසා ඉන්දිරාජාට ලොකු වගකීමක් පැවරෙනවා. මෙයට අමතරව කතරගම වාසනා ඇතාත් කරඬුව වැඩම කරනවා. දළදා පෙරහරේ වැඩිම වාර ගණනක් කරඬුව වැඩම කරන්නේ ඉන්දිරාජා. මාලිගාවේ ඇත් පන්තියේ තවත් ඇතුන් කිහිපදෙනෙක් මේ කටයුත්තට ඉන්නවා.

ඒ වගේම මෙවර විශේෂ ආරක්ෂාව සැපයීමට පොලීසියේ 7000 ක පිරිසක් යොදවා තිබෙනවා. මෙයට අමතරව ත්‍රිවිධ හමුදාවේ දෙදාහක් පමණ යොදවනවා. මේ පෙරහර වෙනුවෙන් රජය ලක්ෂ 600 ක් වැනි මුදලක් වැය කරනවා. මේ පෙරහර නැරඹුමට එන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙය සංස්කෘතික හා ආගමික උත්සවයක් මිස සැණකෙළියක් නොවෙයි. ඒ නිසා ඊට ගැළපෙන ඇඳුමින් සැරසී පැමිණෙන්න. ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන හැකිතාක් බඩු භාණ්ඩ රැගෙන ඒමෙන් වැළකීම වැදගත්. ඒ වගේම පරිසරය රකිමින් දළදා මාලිගාවේ සධාතුක කරඬුව වැඩම කරන මොහොතේදීත්, සතර දේවාලවල පෙරහරවලදීත්, දේවාභරණ වැඩම කරන විටත් නැඟී සිට එයට ඉහළම ගෞරවය දක්වන්න.”

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.