හර පද්ධතියක් තුළින්

තම වටිනාකම ගොඩනගන්න..
අගෝස්තු 28, 2019

කාට හෝ ජීවිතය දිනීමට අවැසි නම් පළමුව තමා ගැන විශ්වාසයක් තමා තුළම පැවතිය යුතුයි. තමා තුළ ඇති වටිනාකම් පිළිබඳ අවබෝධයත් පුද්ගල වටිනාකම් ලෙස සිතන, එහෙත් තමා තුළ නොමැති වටිනාකම් ජීවිතයට එක්කර ගැනීමත් සාර්ථක දිවියක් ළඟාකර ගත් පුද්ගලයන්ගේ ලක්ෂණයකි.

දිනක් එක් රජ කෙනෙක් තමාගේ අනුප්‍රාප්තිකයා සොයා ගැනීමට තීරණය කළා. ඒ සඳහා ඔහු පාසලක සිටි සියලුම දරුවන්ට මල් ඇටයක් ගානේ බෙදා දී ඒවා පැළකර වතුර දමා සාත්තුකරන ලෙසත් තමා දැන් වූ දිනයක දී එම පැළ කළ ඇටය සහිත බඳුන රැගෙන එන ලෙසත් පැවසුවේ ය. දින කිහිපයක් ගත වන විට සෑම දරුවකුගේම බඳුන්වල කුමක් හෝ පැළයක් වැඩෙමින් පවතී. එහෙත් එක් දරුවකුගේ බඳුනේ පැළ කළ ඇටය කොතෙක් වතුර පොහොර ආදිය දැම්මත් පැළ වූයේ නැත.

රජතුමා සියලුම දරුවන්ට තමා ඇට පැළ කළ බඳුන් ද රැගෙන පැමිණෙන ලෙසට දැන්වී ය. එක් දරුවකු හැර සියලුම දරුවන් තමා ඇට පැළ කළ බඳුන් ද රැගෙන පැමිණියේ ය. ඒවායෙහි නොයෙකුත් වර්ගවල පැළ වැවී ඇති ආකාරයක් දක්නට ලැබුණ ද තමාට දුන් ඇටය පැළ නොවූ දරුවා පමණක් හිස් පස් බඳුනක් පමණක් තබාගෙන දුකින් බලා සිටියේ ය. එහෙත් රජතුමා සියල්ලන් දෙස බලා හිස් මල් බඳුන සහිත දරුවාට ඉදිරියට එන ලෙස දැන්වී ය.

දරුවා තමාගේ බඳුනේ පැළයක් නැති නිසා දඬුවම් ලැබේ යැයි බියෙන් ඉදිරියට ගියේ ය. එහිදී රජතුමා පැවසුවේ 'මේ තමයි මගෙන් පසුව මේ රටේ රජකමට පත්වන අනාගත රජ' ලෙසයි. මෙය ඇසූ අනෙකුත් දරුවන් හා ඔවුනගේ වැඩිහිටියන් පැවසුවේ හිස් බඳුනක් සහිත දරුවකුට මෙලෙසින් වරප්‍රසාදයක් ලබා දීම අසාධාරණ බවයි. එහෙත් රජතුමා පැවසුවේ එතැන සිටි හැම දෙනාගෙන් ම අවංක පුද්ගලයකුට සිටින්නේ මේ දරුවා පමණක් බවයි. අනෙක් සියලුම දරුවන් බොරුකර ඇති බවයි. 'මම හැම අයකුටම දුන්නේ තම්බපු ඇට. ඒ නිසා එම ඇටවලින් පැළ ඇති විය නොහැකියි.' මෙය ඇසූ සියලු දෙනාගේ මුහුණු බිමට නැඹුරු වූහ. මේ දරුවාගේ වටිනාකම වූයේ සත්‍යවාදී බවයි.

'The Walk' ' හොලිවුඩ් චිත්‍රපටයේ කියැවෙන්නේ ද මෙවැනි ම වූ පුද්ගල වටිනාකම් පිළිබඳ කතාවකි. සර්කස්වල මෙන් ඉහළ කඹ දමා ඒවායෙහි ඇවිදින ෆිලිප් පෙටී නම් පුද්ගලයකු සිටින අතර ඔහුට දිනක් ඇමරිකාවේ ඇති ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි දෙක අතර ලණුවක් දමා එහි ඇවිදීමට සිත් විය. මොහු මෙය කිරීමට පෙර තමාට මේ ශාස්ත්‍රය ඉගැන් වූ ගුරුවරයා හමුවීමට යයි. එහිදී ගුරුවරයා ඔහුට පවසන්නේ මෙය කිරීමේ දී ආරක්ෂිත ලණුවක් පලඳින ලෙසයි. මෙහිදී තරුණයා ගුරුවරයාගෙන් විමසන්නේ ඔබ මට ඉගැන්වූවේ ප්‍රේක්ෂකයාට කිසි විටෙක රැවටීමක් නොකරන ලෙස නේද? යන්නයි. එවිට ගුරුවරයා පවසන්නේ තමා එසේ පැවසුව ද හදිසියේ කිසිවක් වී ඔබ වැටුණොත් මැරෙන්නට සිදු වන බවයි. එවිට ඔහු පෙරළා ගුරුවරයාගෙන් අසන්නේ 'ඔබට මෙය සිදු කරනවා නම් ආරක්ෂිත ලණුවක් පලඳිනවාද?' යන්නයි. එවිට ගුරුවරයා නැතැයි පවසන අතර තරුණයා ද පවසන්නේ එහෙනම් තමා ද එවැන්නක් පලඳින්නේ නැති බවයි.

එයින් පවසන්නේ මරණය පෙනෙන්නට තිබිය දීත් බොරුවක් කිරීමට ඇති අකැමැත්තයි. මේ කතා දෙකෙන් ම පවසන්නේ මොවුන් තුළ ඇති වටිනාකම් පිළිබඳයි. මෙම පුද්ගලයන් දිවි පරදුවට තබා සත්‍යවාදී බව සුරැකීමට උනන්දු වේ.

2019/08/28 තරුණි බලන්න

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

සටහන