අඩු ඉඩ කඩක් ඇති විට ගෙමිදුල කෙසේ විය යුතු ද?

සැප්තැම්බර් 18, 2019

දිනෙන් දින වැඩිවන ජනගහනයත් සමඟම පවතින ඉඩකඩ සීමා සහිත වෙමින් පවතී. එහිදී එක් පුද්ගලයකුහට පරිහරණය කිරීමට ලැබෙනා ඉඩකඩ ප්‍රමාණය අවම වීම හේතු කරගෙන ඉඩම්වල මිල ද පුදුමාකාර අන්දමින් ඉහළ යමින් පවතී.

මේ තත්ත්වයේ අහිතකර ප්‍රතිඵලය බවට පත්වන්නේ කෙනකු මිලදී ගන්නා හෝ මිලදී ගත් ඉඩකඩ ප්‍රමාණය අවමවීම සහ එයින් කොටසක් නිවෙසට වෙන් කළ පසු ගෙමිදුලට ඉතිරිවන පරිසරය ඉතා අල්ප වීමයි. ඇතැම්විට ගෙමිදුලට වෙන් කරන්නට කොටසක් ඉතිරි නොවීමයි.

ස්වාභාවිකත්වයේ මිහිර

සාමාන්‍යයෙන් ග්‍රාමීය ප්‍රදේශයක නම් මේ තත්ත්වය එතරම් බලනොපාන නමුදු ඔවුන් තම ගෙමිදුලේ උද්‍යාන නිර්මාණය එහෙමත් නැතිනම් ගෙඋයන් අලංකරණය කිරීමට එතරම්ම උනන්දුවක් තවමත් නොගන්නා බව පෙනේ. ඊට ප්‍රධානම හේතුව ලෙස දැක්විය හැක්කේ ගම්බද ප්‍රදේශවල එනම් ගැමි පරිසරයක ජීවත්වන්නන්ට ස්වාභාවිකත්වයේ මිහිර නිතැතින්ම වටපිටාවෙන් වින්දනය කිරීමට හැකිවීමයි.

නාගරික සහ අර්ධ නාගරික ජීවිත

එහෙත් නගරබද කොන්ක්‍රීට් ගොඩනැගිලි, පාරවල්, තාප්ප අතරේ කලදවස ගතකරන බොහෝ දෙනකුට තම ගෙමිදුලට කැන්දන මේ ස්වාභාවිකත්වය ඉතාමත් වටී. එබැවින් නාගරික සේම අර්ධ නාගරිකව ජීවත්වන බොහෝ පිරිසක් ගෙඋයන් කලාව පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වීම වර්තමාන ප්‍රවණතාවකි.මෙහිදී ප්‍රධාන අවධානයක් යොමු කළ යුත්තේ නිවෙස ඉදිකර ඉතිරිවන කුඩා ඉඩ ප්‍රමාණය පිළිබඳයි. මෙම ඉඩකඩ මනාව සංවිධානයකර නොගතහොත් කිසිදු සුන්දරත්වයක් මතුකරගත නොහැකිය. ඊට අමතරව එදිනෙදා කටයුතු පහසුවෙන් කරගැනීමට ද අපහසු වී ගැටලු මතු කෙරෙනවා නොඅනුමානයි.

පුද්ගලික කැමැත්ත

අපට එදිනෙදා විවිධාකාරයේ අවශ්‍යතා තිබේ. මෙකී අවශ්‍යතා මොනවාදැයි හඳුනාගෙන ඒවායින් ද ප්‍රධාන අවශ්‍යතා වෙන්කර හඳුනාගත යුතුය. ඒවාද එක් එක් පුද්ගලයා අනුව වෙනස්වන බව අප අමතක නොකළ යුතුය. මන්ද එක් පුද්ගලයකුට අවශ්‍යවන දේ තවත් පුද්ගලයකුට අවශ්‍ය නොවනවා විය හැකියි. මේ නිසා එක් එක් පුද්ගලයාගේ කැමැත්ත අනුව ගෙවත්තේ ඉඩකඩ වෙන්කිරීමට උත්සාහ නොගෙන පොදු කැමැත්ත අනුව යමක් නිර්මාණය කිරීම වඩා වැදගත් වේ.

උදාහරණයක් ලෙස ඔබේ පවුලේ සාමාජිකයකුට ගෙඋයන සඳහා ඉතිරිකරනා ඉඩකඩෙහි වෙළෙඳසලක් ඉදිකිරීමට අවශ්‍ය වූවා යැයි අපි සිතමු. නමුදු තවත් කෙනකුට අවශ්‍ය වන්නේ ෆාමසියක් හෝ බෙහෙත් ශාලාවක් ආරම්භ කිරීමටයි. එමෙන්ම තවත් කෙනකුට මේ කිසිදු අවශ්‍යතාවක් නොතිබී ලස්සන ගෙමිදුලක් නිර්මාණය කරගැනීමට සිතෙනු ඇත.

මේ උදාහරණය අනුව සාමාන්‍ය වෙළෙඳසලක් පවත්වාගෙන යාමේදී සහ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යෑමේදී උද්‍යාන නිර්මාණය සඳහා ඉඩකඩ වෙන්කරන්නේ ක්‍රම දෙකකටයි. මන්ද බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යාමේදී වාහන පිවිසිය හැකි මාර්ගයක් අවශ්‍ය වේ. එමෙන්ම පැමිණෙන රෝගීන් සඳහා වාඩිවී සිටීමේ ස්ථානයක්, වාහන හරවා ගැනීමට ඉඩකඩ ආදිය අවශ්‍ය වේ. නමුත් සාමාන්‍ය වෙළෙඳසලක් සඳහා එවැනි ඉඩකඩක් අවශ්‍ය නොවන අතර එම වෙළෙඳසල පවත්වාගෙන යන කොටසට පමණක් ඉඩ අවශ්‍ය වේ.

එබැවින් තමාගේ ප්‍රධාන අවශ්‍යතාව සහ අනෙකුත් අවශ්‍යතා නිසිලෙස හඳුනාගෙන, තිබෙන ඉඩකඩ මනාව වටහාගෙන එය මනාව සංවිධානය කරගැනීම හරහා සුන්දර වටපිටාවක් සකසාගත හැකි වේ.

ඒ අනුව ඔබගේ ප්‍රධාන අවශ්‍යතාව සහ බැඳුණු භූමියේ සකස්විය යුතු අවශ්‍යතා කිහිපයක් ඇතිබව ඔබට වැටහෙනු ඇත. මෙලෙස ඔබේ උද්‍යාන නිර්මාණය ඔබගේ ප්‍රධාන අවශ්‍යතාවන්ට ගැළපෙන, පූර්ව ඉඩකඩ සංවිධානය කළ එකක් වීමෙන් පරිහරණයට පහසු අපූරු ගෙඋයනක් වනවා නොඅනුමානයි.

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,
ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී, මාබොදලේ
රංජිත් කළුආරච්චි

 

2019/09/18 තරුණි බලන්න