වැඩිහිටියන් කරදරයකැයි නොසිතන තරුණ පරපුරක් බිහ කළ යුතුයි

ඔක්තෝබර් 2, 2019

වයෝවෘද්ධ අම්මා කෙනකු, තාත්තා කෙනකු දුටුවිට සුපසන් හැඟුමක් සිතෙහි ජනිතවන්නේ කීයෙන් කීදෙනාට ද? වැඩිහිටියන් දෙස, වැඩිහිටි ජනගහනය දෙස නොපහන් සිතින් බලන්නටයි බොහෝ දෙනා පුරුදුව සිටිනුයේ.

වැඩිහිටි ඔබට නිසිතැන දෙන හෙට දවස යන තේමාවට අනුගත වෙමින් තවත් වැඩිහිටි දිනයක් මෙවර සමරයි. ඇත්තටම වැඩිහිටියන්ට නිසිතැනක් ලැබේද?

ළමයින්ට සේම වැඩිහිටියන්ට එකම දවසක් ඇයි ?

ළමා හා වැඩිහිටි දිනය එකට එක්ව එකම දවසේ සමරනුයේ ඔවුන් දෙපිරිසම අත්‍යන්තයෙන්ම තවත් කෙනකුගේ සහාය අවශ්‍ය පිරිස් නිසාවෙනි. ළමයින් දෙස ආදරණීය හැඟුමන් හෙළුවත් බොහෝ දෙනා වැඩිහිටියන් සමාජයට බරක් යැයි සිතන්නට පුරුදු වී සිටියි. මෙය ආකල්පමය වශයෙන් වර්ධනය වූ දෙයක් බව ද සිතට ගත යුතුය.

ඔබ ඔබේ දරුවන් අසීමිත ආදරයකින්, සෙනෙහසකින් සිප වැලඳ ගනිද්දී, ඔබව එවැනිම දෝරේ ගලා යන ආදරයකින් හැදූ වැඩූ මාපියන් වයෝවෘද්ධ වූ කල ඔවුන් දෙස බැලිය යුතුවන්නේ ද කරුණාබරිත හැඟුමකිනි. ඔබේම ලෙයින් මසින් හැදුණු වැඩුණු දරුවන් සේම ඔබ ඔබේ මාපියන්ගේ ලෙයින් මසින් හැදුණු වැඩුණු දරුවන්ය. දරුවන්ගේ සිත් තලා පෙළා නොදමන්නට හැමවිටම සිතන ඔබ වයෝවෘද්ධ මවගේ, පියාගේ සිත ද නොරිදවීමට වගබලාගත යුතුය.

වැඩිහිටි පනත

වැඩිවන වැඩිහිටි ජනගහනය රටට, සමාජයට, ආර්ථිකයට බරක් නොවන්නට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය අප්‍රතිහත උත්සාහයක නියැළේ. 2000 අංක 19 දරණ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන පනතත්, පසුව සංශෝධනයන්ට ලක්වූ 2011 අංක 5 දරණ පනතටත් අනුව වැඩිහිටියන් පිළිබඳ වගකීම සමාජගත කරන්නට වැරවෑයම් කරයි.

වැඩිහිටි ප්‍රජාවට අර්ථාන්විත හෙටක්

වැඩිහිටි ප්‍රජාවට අර්ථාන්විත සහ ක්‍රියාකාරී දිවිපෙවෙතක් අත්කරදීම, වැඩිහිටි ප්‍රජාව කෙරෙහි විශේෂ අවධානයක් සහ ගෞරවාන්විත හැඟීමක් ඇතිකිරීම, තම හැකියාවන් සහ දක්ෂතාවන් එළි දැක්වීමට අවස්ථාව සලසාදීම මඟින් ඔවුන් තුළ මානසික සුවය ඇතිකිරීම, වැඩිහිටියන්ගේ පරිණත දැනුම සහ කුසලතාවන් , දක්ෂතාවන් එළිදැක්වීම මඟින් හැකියාවන් අගය කිරීම අරමුණු කොට ගනිමින් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය සුවිසල් සමාජ මෙහෙවරක නියැළෙයි.

ඔවුන් හැමවිටම වැඩිහිටියන් සම්බන්ධ දත්ත පද්ධතියක් පවත්වා ගෙන යමින් වැඩිවන වැඩිහිටි ජනගහනය රටට බරක් නොවන්නට හැකි සෑම උත්සාහයක නියැළෙයි. වැඩිහිටි පනතට අනුව වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියාකරයි.

පැය 24 පුරාවටම බණ දෙසන රටක්, බණ අසන රටක් වුව මහමඟ අම්මා, තාත්තා දමා යන තත්ත්වයන්ගෙන් මිදී නැත.

අවුරුදු 60 න් එහා පිරිස් වැඩිහිටියන් ය. මොවුන්ගෙන් අවුරුදු 60-70 ත් අතර සිටිනුයේ තරුණ වැඩිහිටියන් ය. ඔවුන් ආර්ථිකයට බරක් නොවෙමින් ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස බොහෝ දුරට කටයුතු කරයි. එසේම තමන්ගේ දෛනික වැඩකටයුතු තනිවම කරගනිමින් පවුලට ද බරක් නොවී සිටියි.

මේ පිරිස් ඉලක්ක කරගනිමින් ඔවුන්ට ස්වයං රැකියා සඳහා ආධාර ලබාදීම, ඔවුන්ගේ නිර්මාණ ඇගයීම යනාදිය සිදු කරයි.

වෘද්ධ වැඩිහිටියන් සමාජයට බරක් ද?

එහෙත් අවුරුදු 70 න් එහාට සිටිනුයේ වෘද්ධ වැඩිහිටියන් ය. ඔවුන් බොහෝවිට කායික හා මානසික සෞඛ්‍යය අතින් ද ක්‍රමයෙන් පිරිහෙන පිරිස් ය. වැඩිවන වැඩිහිටි ජනගහනය, රටට බරක් වන වැඩිහිටි ජනගහනය, ඇතැම් දූදරුවන්ට බරක් වන වැඩිහිටි ජනගහනය, මහමඟ අතර දමා යන අම්මා, තාත්තා ලෙස සැලකෙන්නේ ද මේ වෘද්ධ වැඩිහිටියන් ය.

වැඩිහිටියන් මේ ගත කරනුයේ ඔවුනගේ රජත වියයි. එසේනම් ඔවුන්ට ඇති කළ යුතු වන්නේ ද රජත ආර්ථිකයකි. වැඩිහිටියන් කරදරයක් යැයි නොසිතා ධනාත්මකව දකින්නට හැකි තරුණ පරපුරක් බිහි කළ යුත්තේ ළමා කාලයේ පටන්ය.

2040 දී වැඩිහිටියන් සියයට 25 ක්

1970 දී සියයට 5.8 ක් වූ වැඩිහිටි ජනගහනය 2000 වසරේ දී 9.3 කි. 2012 දී එය 12.4 කි. 2015 දී 13.9 කි. 2020 වනවිට එය 16.4 කි. 2030 වනවිට සියයට 21 කි. 2040 වනවිට 25.4 කි. මුළු ජනගහනය කෝටි 2ක් වනවිට වැඩිහිටි ජනගහනය ලක්ෂ 50 ක් වීම කොහෙත්ම වැළැක්විය නොහැකි වේ. 2100 වනවිට එය සියයට 40 කි. ලොව වැඩිම වැඩිහිටි ජනගහනයක් ජපානයේ සිටින අතර දකුණු ආසියාතික රටවල් අතරින් වැඩිම වැඩිහිටි ජනගහනයක් සිටිනුයේ ශ්‍රී ලංකාවේ ය.

දිනෙක අප සැවොම වැඩිහිටියන් බවට පත් වේ. ඉහත කී වැඩිවන වැඩිහිටි ජනගහනය අතරට අප ද එකතු වේ. එසේ නම් අනාගතයේ වැඩිවන වැඩිහිටි ජනගහනයට පිළිතුර ඇත්තේ වර්තමාන ශ්‍රම බලකාය තුළයි. එසේනම් වත්මනේ තරුණ පිරිස් අතර ආදායම් වර්ධනය සහ ඉතුරුම් වර්ධනය ඉතාම වැදගත් ය. කල්තියාම සැලසුම් සහගත විය යුතුය. කෙනකුට මේ තරම් වැඩිහිටි ජනගහනයක් යැයි සිතන විටත් ඇඟ කිලිපොළා යන මානසිකත්වයෙන් මිදීමට හැකිවනු ඇත.

පුංචි පවුලේ සිටිනුයේ දරුවන් එක් අයකු හෝ උපරිම දෙදෙනෙකි. ඔවුන්ට ඉතාම උසස් අධ්‍යාපනයක් දායාද කරලන්නට මාපියන් දිවි හිමියෙන් කැපවෙති. දිනෙක ඔවුන් මාපියන් තනිකොට විදෙස්ගත වන්නේ තම සහකරු හෝ සහකාරිය, දූදරුවන් සමඟින් සැපවත් ජීවිතයක් ගත කරන්නටය.

එහෙත් තමා හැදුවැඩූ මාපියන් සිටිනුයේ හුදකලාවයි. එවැනි දරුවන්ගේ මාපියන් ආර්ථිකය අතින් පිරිහී නැත. ඔවුන් රැකබලා ගැනීම වැඩිහිටි නිවාස, වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙතට යොමු කෙරේ.

කාර්යබහුල සමාජයේ දූදරුවන්ට ද තම මව, පියා සම්බන්ධයෙන් දිය හැකි විකල්පයක් නොමැති තරම් ය.

හුදෙකලාවට තිතක් ගෙනදෙන වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන

නිවෙසේ හුදකලාව සිටිනවාට වඩා මෙහෙකරුවන්ගේ ද්වේශ සහගත බැල්මට හසුවනවාට වඩා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට වී දවස ගතකිරීම මැනවි යැයි හැඟේ. එහිදී ඔවුන් සම වයසේ ගැහැනුන්, පිරිමින් සහ එකට එක්වී සතුටු සාමීචියේ යෙදෙමින් කාලය ගත කරයි. පොත් පත්තර බලයි. ව්‍යායාම් කරයි. නිර්මාණාත්මක ක්‍රියාකාරකම්වල නියැළෙයි. නටයි, ගයයි. ඇතැම් විට උයාපිහාගෙන කයි.

වැඩිහිටියන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල දවල් දවසේ සිටීම පිළිබඳ කෙනකු සිතන්නේ දරුවන් නොසලකා හරින ලෙස නම් එය වහාම වෙනස් කළ යුතු සමාජමය ආකල්පයකි.

දැනටමත් ලංකාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සැලකිය යුතු ප්‍රමාණයක් (306) ඇති අතර දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ලක්ෂ 45 ක පමණ ණයක් නොවන මුදලක් ලබාදෙන අතර ඉදිරියේ දී ජාත්‍යන්තර මට්ටමේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන බොහොමයක් මෙරට ද ඉදිවනු ඇත.

අද වැඩිහිටියන් දෙස වපර ඇසින් බලන්නට පුරුදුවන සැවොම දිනෙක වියපත් වනු ඇත. සතුටින් පිරි නිරෝගී වැඩිහිටි දිවියක් උරුමවන්නේ නම් වැඩිහිටියන් කිසිවිටෙක කාගේ හෝ වපර ඇසට ලක්නොවන පුද්ගලයන් වනු ඇත.

විශේෂ ස්තූතිය - ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතාට

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.