සාර්ථක දිවියකට නැතුවම බැරි විනිවිදභාවය

ඔක්තෝබර් 9, 2019

මානව සබඳතා අතරින් විවාහය තරම් එකිනෙකාව විනිවිද දකින තවත් සබඳතාවක් නොමැති තරම්ය. රන් මුදුවෙන් අතැඟිලි බැඳුණු දිනයේ සිට සම්පුර්ණයෙන්ම කායිකව, මානසිකව, ආත්මීයව දෙදෙනෙක් එකිනෙකා හා බැඳී සිටිති. විනිවිදභාවයත් සමඟ ඇති මේ බැඳීම නිසාම රහසකට ඉඩක් නැත.

එහෙත් අවාසනාවකට අද බොහෝ පවුල් සංස්ථාවල රජ කරන්නේ පාරාන්ධතාවයි. පෞද්ගලික රහස්‍යභාවයයි.

තමන්ගේ සහකරුගෙන්/ සහකාරියගෙන් සඟවන වදන් ගබඩාවක් සතු පවුල් සංස්ථා කොපමණ නම් සංඛ්‍යාවක් සිඟාලෝවාද සූත්‍රයෙන් පෝෂිත ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ජීවත් වනවා ද? බිරිය සැමියාටත්, සැමියා බිරියටත් මවාපාන්නේ ව්‍යාජ විනිවිදභාවයකි. අනියම් සබඳතා, ඇබ්බැහිවීම්, නරක පුරුදු ආදී යුග දිවියේ සියලු පාපයන් අළු යට ගිනි මෙන් සැඟව පවතී. එහෙත් මියෙන තුරුම සෙනෙහස පවත්වා ගැනීමට නම් විනිවිදභාවයක් තිබිය යුතුමය.

මේ සඳහා,

* විවාහ වූ දිනයේ ම එකිනෙකා අතර රහසක් තබා නොගන්නා බවට එකඟතාවකට එළඹෙන්න. එය විවාහ ගිවිස ගැනීමේ පොරොන්දු ප්‍රකාශය හා සමානවම යුග දිවියට වැදගත්ය.

හැඟීම්, සබඳතාවන්, ආර්ථිකය පමණක් නොව කායික ආදරයේ රුචි අරුචිකම් ද එකිනෙකාට නොසැඟවිය යුතුය. බොහෝ විවාහ සංස්ථාවන් දෙදරා යන්නේ මෙසේ නොකරන බැවිනි.

 

* සැමියාට/බිරියට සෑම විටම මූලිකත්වය දෙන්න

තමන්ට වැදගත් පුවතක් ලද ඇසිල්ලේ එය බෙදාගත යුත්තේ සමාජ වෙබ් අඩවිවලින්, වට්ස් ඇප්, වයිබර්වලින් නොවෙයි. තම සැමියා හෝ බිරිය සමඟය. තම ජීවිතය සම්බන්ධව වේවා පවුලේ සාමාජිකයකු සම්බන්ධව වේවා ලැබෙන තොරතුරු බාහිර සමාජයට පෙර දැනගත යුත්තේ සැමියා/බිරිය විසිනි.

* එකම ගිණුමක සාමාජිකයන් වන්න. තමන් මුහුණු පොතේ කාලය ගත කරමින් සිටින විට සැමියා එබී බැලුවොත්, චකිතයක්, තිගැස්මක් ඇතිවන්නේ දෙදෙනා අතර විනිවිද භාවයක් නැති නිසාය. බිරියගේ දුරකථනයට නෙත් යොමු කරද්දී සැමියාගේ හද ගැහෙන්නේ ද ඒ නිසාමය. දෙදෙනා එකම සමාජ මාධ්‍ය ගිණුම් පවත්වා ගන්නේ නම් දුරකථන දෙදෙනාටම පොදු නම් එලෙස නොසන්සුන්තාවක් ඇතිවන්නේ නැත.

සෑම දෙයක් ගැනම නිතර කතා කරන්න.

කතා බහ කිරීමට කෙතරම් යහළු යෙහෙළියන් සිටිය ද ඕනෑම දෙයක් නිතරම කතා කිරීමට සුදුස්සා සැමියා හෝ බිරිය වෙයි. කෙනකු විරුද්ධ ලිංගිකයකු සමඟ සෑම දෙයක්ම නිතරම කතාකිරීමට පුරුදු වුවහොත් එය විවාහ සංස්ථාව දෙදරායාමට පවා හේතුවිය හැකිය. විවාහක යුවළක ලෙස සෑම මාතෘකාවක් ගැනම එකට එක්වී කතා කරන්න. අඹු සැමියන් යනු ජීවිතය එක්ව බෙදා ගන්නන්ය. තනි පුද්ගලයන් නොව කණ්ඩායමක් ය.

විවෘත වන්න

දැනුවත්ව හෝ නොදැනුවත්ව දෙදෙනා විවාහයෙන් පසු එකිනෙකාට විවෘතය. එහෙත් නිර්ව්‍යාජව තමන්ගේ ස්වභාවය අනෙකාට පෙන්නුම් කිරීම ඉතා වැදගත් වෙයි. මිනිසුන් වශයෙන් කිසිවකු සියයට සියයක්ම අංග සම්පූර්ණ නැත. එහෙත් අංග සම්පූර්ණ නොවන යුවළකට මෙසේ විවෘත වීමෙන් අංග සම්පූර්ණ ආදරයකට හිමිකම් කිව හැකිය.

තමන්ට තමන් කෙරෙහි විනිවිදභාවයක් නැත්නම් අන් අය කෙරෙහි විනිවිදභාවයක් ඇතිකර ගත නොහැකි වෙයි. එනිසා මුලින්ම තමන්ට තමන් කෙරෙහි විනිවිදභාවයක් තිබිය යුතුය.

සමහරු විනිවිදභාවයට බියක් දක්වති. සහකරු/සහකාරිය තම සැබෑ ස්වභාවයට කෙසේ ප්‍රතිචාර දක්වාවිදැයි සිතයි. එහෙත් සැබෑව නම් එමඟින් එකිනෙකාව හොඳින් හඳුනාගැනීමට අවස්ථාව උදාවීමයි. එයින් අඹු සැමි සබඳතාව වඩාත් ශක්තිමත් කළ හැකිය.

යුග දිවියේ එකිනෙකාව විනිවිද දකින පතිපතිනියන්ගේ නිදි යහනේ ජීවිතය ද සුන්දරය. එය අධ්‍යයන ගණනාවකින් හෙළිවී තිබේ. අඹු සැමි යුවළකට පුර්ණ තෘප්තිමත්භාවයක් නිදි යහනේ දී ලද හැක්කේ යුග දිවියේ විනිවිදභාවය අත්දකින විටදීය.

පෞද්ගලිකතාවත් විනිවිදභාවයත් අතර වෙනසක් පවතී. තමන් කැමැති ගීයකට හුදෙකලාව සවන්දීම පෞද්ගලිකය. ඒ පෞද්ගලිකත්වයට අනෙකා ගෞරව කරයි. විවාහයේ දී දෙදෙනා එක් අයකු කියා සිතිය යුතු නමුත් තනිව සිටීමට සිතෙන අවස්ථා තිබිය හැකිය. එය පෞද්ගලිකය.

විනිවිදභාවය යුග දිවියට අත්‍යවශ්‍යය. එය දෙදෙනාගේ අවංකභාවයේ පාක්ෂික බවේ ප්‍රතිමූර්තියයි. අඹු සැමියන්ට යුග දිවිය නම් නෞකාව සුළි කුණාටුවලින් තොරව දියඹට රැගෙන යාමට උපකාරී වන හබල ද එයයි. නිවෙස සාමය රජකරන තැනක් වන්නේ විනිවිදබවක් සැමියාගේත් බිරියගේත් ඇති විටයි..