රන් රස සේ පෑහෙන සොඳුරු බැඳීමක අසිරිය

ඔක්තෝබර් 16, 2019

මංගල පෝරුවේදී යසට කැපෙන යුවළක සේ දකින අඹු සැමියන් කුටුම්බයේදීත්, ඒ හා සමානව ගැළපෙනවා නම් කෙතරම් අපුරුද? බිරිය අසල සැමියාත්, සැමියා අසල බිරියත් සිටින විට එකිනෙකාට ඇති ගැළපීම යුග දිවියට මොනතරම් බලපානවාද? එය රන් රසසේ පෑහෙන ගැළපීමක් නම් යුග දිවිය මල් මාවතකි.

එවැනි යුවළක් සමාජ වෙබ් අඩවිවලට තම සබඳතාව ගැන පෞද්ගලික තතු කිසිවක් එක් කරන්නේ නැත. අද දැකිය හැක්කේ ලෝකෙට පරකාසයක් වන ගෙදරට මරගාතයක් වන යුගදිවි සබඳතාය. ඇතැම් වෙබ් ජාලාවලින් අතිශයින් පෞද්ගලික තතු පවා බෙදා ගන්නේ රෝමියෝ - ජුලියට්, සීතා - රාමා බඳු පෙමක් ඇති බව ලොවට පෙන්වමිනි. එහෙත් එවැනි බහුතරයකගේ නිවෙස යුද පිටියකි.

දවස පුරාම සිදුවන දේ පිළිබඳ එකිනෙකා දැනුවත් කර ගැනීම සුව සම්පන්න සබඳතාවක ලකුණක් වෙයි.

විවාදයකට කුටුම්බයේ ඉඩ තිබීම සුබ දායකය. “ඔයාව වෙන පළාතකට මාරු කළොත් මොකද වෙන්නේ? මට නම් එහෙ යන්න බැහැ.” මෙවැනි වාද කිසිසේත්ම අහිතකරව බලපාන්නෙ නැත. එහෙත් යාමට ඇති කැමැත්ත යටපත් කරගෙන සිටීම ඊට භයානකය. හොඳ වාද විවාදවලදී එක් අයකු කතා කරද්දී අනෙකා නිහඬව සිටියි. එමෙන් එක්වරම ටොනාඩෝවක් හමා යන්නාක් මෙන් වාදය අරඹන්නේ නැත. දරුණු වාදයක් පවා සෞම්‍යයව, ගෞරවාන්විතව ඇරැඹෙයි.

මෙවැන්නන් එකිනෙකාගේ හැඟීම් ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වෙයි. කෝපය, නොසන්සුන්තාව, බිය මේ කුමන හැඟීමක් වේවා ඒ ගැන ප්‍රකාශ කරයි. “ඔයා අද දුකින් වගේ”, “ඇයි කේන්තියෙන්” ආදී වශයෙන් හැඟීම් ගැන පවසන්නේ රන් රසයේ පෑහෙන විටය.

යසට ගැළපෙන යුවළකට සම්බන්ධීකරණය වීමට වදන් අනවශ්‍යය. දෑසේ බැල්ම ද ප්‍රමාණවත්ය. එක් බැල්මකින් සිනාවකින් අනෙකාට බොහෝ දේ පැවසෙයි. සහකාරිය නිහඬව සිටිය ද සහකරු අසල සිටීම සිතට සහනයකි.

දික්කසාද වීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නොගැළපීම්ය. දෙන්නා දෙමහල්ලන් එකම දෙයකින් විනෝදයක් ලබනවානම්, එකම දෙයකට ඇලුම් කරනවා නම් එය අසිරිමත්ය. සමාන රුචිකත්වය අඹු සැමියන් අතර පමණක් නොව ඕනෑම දෙදෙනකු අතර ඇති සබඳතාව ශක්තිමත් කරන්නකි.

පෙමින් බැඳී සිටින කාලයේදී අසමාන රුචිකත්වය ඒ පෙම බිඳ වැටීමට හේතුවක් වෙයි. බිරියට කිරීමට අවශ්‍ය දේ සැමියාට කිරීමට අනවශ්‍ය නම් සැමියාගේ අවශ්‍යතාවට බිරිය නතු නොවේ නම් එය ද පරස්පරතාවකි.

දෙදෙනා දෙතැනක සිටියද දවස පුරාම එකිනෙකා සමඟ සම්බන්ධවීමට කවරාකාරයක් හෝ උත්සාහ ගන්නේ සොබා ආශ්චර්යයෙන් ඔහු ඇය වෙනුවෙනුත් ඇය ඔහු වෙනුවෙනුත් නිර්මාණය වී ඇති විටය. ස්මාට්ෆෝන් ඇති අද වගේ කාලයක දවස පුරාම තොරතුරු හුමවාරු කරගැනිම යසට කැපන යුවළකට පහසුවෙන්ම සිදුකළ හැක්කකි.

මෙවැනි යුවළකට එක් අයකු නැති දිනක් දැනෙන්නේ හිරු සඳු නොමැති දිනයක් සේය. එලෙසම දෙදෙනා එක්ව සිටින විට කාලය ගතවන බවක් ද නොදැනෙයි. ආත්මිය ගැළපීමකඳීි දෙදෙනා කොපමණ වේලා සිටිය ද එය නිමේෂයක් සේ හැඟීම අරුමයක් නොවෙයි.

පතිපතිනියන්ගේ ආත්මීය බැඳීම කායික සම්බන්ධයෙන් ඔබ්බට ගිය බැඳීමකි. නිහඬව ඉර බැසයන අන්දම එකට එක්වී බලා සිටියද දෑත් බැඳගෙන සක්මන් කිරීමේදී ද රූපවාහිනිය තුරුලු වී බැලුව ද එය යුවළකගේ ගැළපීමට සාක්ෂියකි.

මෙවැනි යුවළකට එකිනෙකාගේ ඉලක්ක, සිහින ගැන හොඳ අවබෝධයක් ඇත. ඒවා ඉටුකර ගැනීමට අන්‍යෝන්‍ය වශයෙන් උපකාරීවෙයි. එයින් යුග දිවිය වඩාත් සාර්ථක වෙයි.

යුවළකගේ ප්‍රේමාන්විත ගැළපීම ලිංගික ආකර්ෂණයට වඩා ප්‍රබලය. එය කායික, භාවාත්මක, අධ්‍යාත්මික, තාර්කික බන්ධනයකි.

කුමන තරාතිරමක අධ්‍යාපනයක් ලැබුව ද වෙනස් ආගමකට අයත් වුවද කොපමණ පරස්පරතාවන් තිබුණ ද ඒ සියල්ල මෙවැනි යුවළකගේ ගැළපීමට බාධාවක් නොවෙයි. ආගම් දෙකකට අයත් වුවත් වෙනස් වූ විශ්වාසයන් තිබුණ ද එය යුවළකගේ අධ්‍යාත්මික ගැළපීමට බාධාවක් වන්නේ නැත.