නිවැරැදිව වැඩ කරන්න පිළිවෙළ වැදගත්...

ඔක්තෝබර් 30, 2019

විවිධ දේ කරමින් විවිධ වූ මාර්ගවල යමින් සාර්ථකත්වය සොයා යන්නන් බොහෝ ය. එමෙන් ම කෙසේ හෝ ජීවිතය ජය ගන්නට සිතා නොයෙකුත් ක්‍රියාකාරකම්වල නිරතවන්නන් ද ඇත. එහෙත් අප යම් ඉලක්කයක් කරා යාමේ දී ඒ සඳහා නිවැරැදි ක්‍රමෝපායයන් භාවිත කළ යුතුය.

අප තුළ ඇති දුර්වලතා හඳුනාගෙන එම දුර්වලතා මඟහරවා ගත යුතුය. තමා තුළ ඇති දුර්වලතා හඳුනා ගැනීමට නම් පුද්ගලයකුගේ දියුණුව අඩාල කරන යම් පුරුදු හා ක්‍රියාකාරකම් පිළිබඳ අප දැනුවත් විය යුතු වේ. අප පසුගිය සති කිහිපයේ දී ම ඒ පිළිබඳ ඔබ දැනුවත් කළ අතර අද ඒ පිළිබඳ තවත් කරුණු දැන ගනිමු.

සැප සෙවීම, නොරිස්සීම යන කරුණු පුද්ගල දියුණුවට බාධාවක් වන්නේ කෙසේද යන්න පසුගිය සතිවල දී වඩාත් පැහැදිලිව ඔබ දැනගත් අතර දියුණුවට වින කරන තෙවැන්න වන්නේ විපිලිසර බවයි. විපිලිසර බව යනු සිතේ ගොනුවක් නොමැති වීමයි. තමා කළ දෙයක් ගැන ඇතිවන පසුතැවිල්ල හා තමාට කිරීමට ඇති දෙයක් ගැන කල්පනා කරමින් සිටීම යි. ගොනුවක් නොමැති වීම ලෙස හඳුන්වන්නේ, වැඩවල පිළිවෙළක් නොමැතිවීමයි.

උදාහරණයක් ලෙස දැක්වුවහොත් පාඩම් කිරීමට ඇති සිසුවෙක් පාඩම් කිරීම සඳහා පළමුවෙන් එක් විෂයයක් පාඩම් කිරීමට ගන්නා අතර ටික වේලාවකින් තවත් විෂයයකට අයත් පොතක් පාඩම් කිරීමට ගනියි. තවත් ස්වල්ප වේලාවක් ගතවන විට තවත් විෂයයක් ලෙසින් පොත් කිහිපයක් ම පාඩම් කිරීම සඳහා ගත්ත ද අවසානයේ බලන විට ඉන් එක් පොතක්/විෂයයක් හෝ නිසියාකාරව පාඩම් නොකළ බව දැකිය හැකිය. මෙසේ වන්නේ නිසි පිළිවෙළක් නොමැති බව නිසයි.

තවත් සමහර අය එක් දෙයක් වුවත් සිදු කරන්නේ පිළිවෙළක් නොමැතිවයි. අද එය සිදු කළොත් නැවත දින දෙකකින් එය සිදු කරයි. නැවත වෙනත් කටයුත්තක නියැළී සිට නැවතත් මාසයකින් දෙකකින් එය සිදු කරයි. මෙහිදී ඇතැම් පුද්ගලයන් ව්‍යායාම කරන ආකාරය උදාහරණයකට ගත හැකියි. එමෙන්ම ඇතැම් පුද්ගලයන් අත්තෙන් අත්තට පනින බව එනම් එක් කාර්යයක හරියට නියැළී නොසිට තවත් දේවලට යොමුවීම ද දැක්විය හැකියි.

මේ නිසා බොහෝ පුද්ගලයන් තමාට කිරීමට නොහැකි වූ දේවල් පිළිබඳ පසුතැවේ. 'අපරාදේ.. මට ඒ දේ කරන්න තිබුණනේ..., මම ඒක අතෑරියේ අපරාදේ..' ලෙසින් පසුතැවිලි වේ. එමෙන්ම ඇතැම් අවස්ථාවල දී තමාට කිරීමට ඇති දේ පිළිබඳ සැකයක්, බියක් ඇතිකර ගනී. සිසුන් බිය වන්නේ විභාගයට පෙරයි. ඒ හේතුව නිසා ලොකු පීඩනයක් සිතට ඇති වේ. මානසික ආතතියක් ඇති වන්නේ එබැවිනි.

කොටියෙක් හෝ චීටාවෙක් මුවෙකු පසුපස හඹා යනවා යැයි සිතමු. නමුත් යම් ආකාරයකින් කොටියා පරදා මුවා දිවගොස් බේරෙන අවස්ථා අප රූපවාහිනී වැඩසටහන් ඔස්සේ හෝ දැක තිබේ. එවැනි විටෙක ස්වල්ප වේලාවකින් මුවා නැවතත් නිදහසේ තමාගේ කාර්යයන් සිදු කරමින් සිටියි. කිසිම වේලාවක මුවා කොටියා නැවත පැමිණේදැයි නොසිතයි.

එහෙත් අපි එසේ නොවේ. ඔබ නිවෙසෙන් බැහැරව ගිය දිනෙක නිවෙසට සොරෙකු පැමිණ ගොස් ඇති බව දකින ඔබ ඉන් දැඩි සේ භීතියට පත් වේ. එදින රැයේ ඔබට හොඳ නින්දක් ලබා ගැනීමට නොහැකි වේ. නිදි වර්ජිත රාත්‍රියක් ගෙවීමට සිදු වේ. එසේ වුවත් සත්‍ය වන්නේ එදින රාත්‍රියේ නැවතත් සොරා නොපැමිණීමයි. සොරාගේ කාර්යය ඔහු සිදුකර හමාර බැවින් නැවතත් එම නිවෙසට පැමිණීමට සොරාට අවශ්‍යතාවක් නැත. එහෙත් මෙම සිදුවීමෙන් ඔබ ආතතියට පත්වේ.

මෙවැනි බොහෝ අවස්ථාවලට අපි එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙයි. එමනිසාම හැම විටම ආතතියෙන් සිටීමට සිදු වේ. ආතතිය නිසා තමා සිදු කරන කාර්යයන් නිසි ලෙස සිදු කිරීමට නොහැකි වේ. දිගින් දිගට මේ තත්ත්වයට මුහුණ දීමට සිදු වීමෙන් රෝගී වේ. තීරණ ගැනීමට අපහසු වේ. ශක්තීන් භාවිත වන්නේ තමාට සිදු කිරීමට ඇති කාර්යය සිදු කිරීමට නොව, ඒ සඳහා බිය වීමට හා ආතතිය දුරුකර ගැනීමටයි. අවසානයේ දී උන්මත්තකයෙක් මෙන් හැසිරෙයි.

අභියෝගයක් ලෙසින් බොහෝ විට අපි හඳුන්වන්නේ පවතින සම්පත්වලට වඩා සම්පත් අවශ්‍ය වන අවස්ථාවකටයි. එය ධනය විය හැකියි. කාලය හෝ පිරිස් බලය විය හැකියි. කායික ශක්තිය හෝ දැනුම විය හැකියි. උදාහරණයක් ලෙස උදෑසන කාර්යාලයට යාමට පැමිණෙන ඔබට විශාල වාහන තදබදයකට මුහුණ දීමට සිදු වේ. යන්න වුවමනා වුවද යාමට නොහැකි වේ. වෙලාවට කාර්යාලයට යාමට නොහැකි වුවහොත් කිරීමට ඇති යම් යම් කාර්යයන් සිදු කිරීමට නොහැකි වීම නිසා රස්සාව නැති වීමට වුවද හැකියාව ඇත. රැකියාව නොමැති වීමෙන් මුදල් අර්බුද පැන නගී. ලබා ගත් ණය වාරික ගෙවීමට නොහැකි වේ. එවිට නිවෙස බැංකුවට සින්න වේ. කුලී නිවෙසකට යාමට සිදු වේ. දරුවන්ට පාසල් යාමට නොහැකි වේ. ලෙසින් සිතට බොහෝ සිතුවිලි ඒ මාර්ග තදබදයේ සිටින අවස්ථාවේ ම පැමිණිය හැකියි.

2019/10/30 තරුණි පුවත්පත බලන්න

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.