ආදරය දේදුන්නක් සේ වෛවර්ණයි

නොවැම්බර් 6, 2019

විවාහයෙන් ගොඩ නැඟෙන සබඳතාව හිරු එළිය බඳුය. සෑම දිනයක්ම හිරු එළියෙන් ආලෝකවත් වන්නේ නැත. සමහර දින ගෙවී යන්නේ වැසි කුනාටු මැදය. වැහි කුනාටු පවතින දිනවල අඹු සැමියන්ට එකම කුඩයක් යටට වී ආරක්ෂා වීමට සිදු වෙයි.

සබඳතාවට මෙලෙස විවිධත්වයක් එක් වන්නේ සැමියා සහ බිරියගේ සමානකම් නිසා වාගේම අසමානකම් නිසාය.

බැලූ බැල්මට සෑම යුවළක්ම පොදුවේ අඹු සැමියන්ය. එහෙත් පරෙවි ජෝඩුව, කපුටු ජෝඩුව, ගිරා ජෝඩුව විවිධාකාර මෙන්ම අඹු සැමියන් ද විවිධය. විෂමය.

* බලවන්ත ජෝඩු

සමහර ජෝඩු එකම ව්‍යාපාරයක සාර්ථක කොටස්කරුවන්ය. මෙවැනි ජෝඩු එකට එක් වී ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්නේ යුගදිවිය රෝස මල් යහනාවක් කර ගනිමිනි. එකිනෙකාට උපකාර කරගන්නා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පති පතිනියන්ට උදාහරණ මෙතෙර මෙන්ම එතෙර ද ඕනෑ තරම්ය.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පමණක් නොව එකම ක්ෂේත්‍රයකින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් දියුණුවේ හිනි පෙත්තටම පිය මනින ජෝඩු ප්‍රීතිමත් යුග දිවියකට හිමිකම් කියන්නන්ය.

හිටපු අමෙරිකානු ජනපති බිල් ක්ලින්ටන් සහ හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් දෙදෙනාම එරට දේශපාලන පොර පිටියේ වීරවරයන්ය. වැඩි දෙනකු නොදන්නවාට හිලරි දෙස් පාලන ක්ෂේත්‍රයට පිවිසියේ බිල්ටත් පෙර සිටය. දෙදෙනාම පෙම්වතුන් වූයේ යේල් සරසවියේ නීති සිසුන්ව සිටියදීය. මොනිකා ලෙවින්ස්කි ඔවුනගේ යුග දිවියට හමන ලද කුනාටුවයි. හිලරි, තමන් සහ බිල් අතරට එක් වූ තෙවැන්නියට ඉඩ දී බිල්ගෙන් ඈත් නොවුවාය. ඒ තීරණය හිලරි ගත් අසීරුම තීරණය බව කියැවෙයි.

ෆේස්බුක් නැත්නම් මුහුණු පොතේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් – ප්‍රිසිලා චෑන් යුවළ අයත් වන්නේ ද බලසම්පන්න ව්‍යාපාරික අඹු සැමියන්ගේ ගණයටය. සකර්බර්ග් පළමු බිලියනය උපයන විට වයස අවුරුදු 23 ක් වූවා පමණි. සකර්බර්ගේ ෆේස්බුක් ව්‍යාපාරයේ දැවැන්ත ශක්තිය වන්නේ බිරිය ප්‍රිසිලා චෑන්ය.

*මිතුරු සමාගම්

‘ගයා ගීතයන් ගමේ වෙල් එළියේ – දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ - ඔබ සමඟින් එදා ඒ මා තමා’ මෙලෙස කුඩා වියේ සිට, වැලිකෙළියේ පටන් පැවැති මිතුදම පෙම් දමක් වන අවස්ථාවන් අප කොතෙකුත් අත්දැක තිබේ. මිතු දමින් ඇරැඹුණු ආදරය අවසන් සුසුම හෙළන තුරුම නොවෙනස්ව පවතී. ආදරය ද පරයා මිතු දම නැඟී සිටියි

.* බත ඉදෙන තුරු දබර කර ගන්නෝ

සමහර අඹු සැමියන්ගේ දබර දියෙහි ඇඳි ඉර වාගේය. දබර කරගෙන, මොහොතකින් දබර කළ බව අමතක කර අලුත විවාහපත් යුවළක මෙන් සෙනෙහසින් බැඳෙයි. කොපමණ දබර කළත් ඒ දබරය අවසන් වන්නේ දෙදෙනා දෙදෙනා වෙනුවෙන්ම මනු ලොව නිමැවුණු බව පසක් කරමිනි.

* විෂමතා සමාන කර ගන්නෝ

කළු, සුදු ප්‍රතිවිරුද්ධ වර්ණය. මේ වර්ණ අපූරුවට ගළපා අළු පැහැයක් බවට පත් කර ගන්මෝ එමටය. ගැළපීම් මත ආදරය සුන්දර කර ගන්නන් මෙන්ම නොගැළපීම් ගැළපීම් කර ගැනීම ද විවාහක යුවළකගේ වගකීමකි. එහෙත් ඇතැම් නොගැළපීම් හිසරදයක් වන අවස්ථා එමටය. ඇය ඉතා පිළිවෙළට වැඩ කරද්දි ඔහු වැඩ කරන්නේ අපිළිවෙළට නම් එය සැබෑම හිසරදයකි. නොගැළපීම් ගැළපීම් කර ගැනීමේදී එවන් පරස්පරතා උපේක්ෂා සහගතව විඳ දරා ගෙන මුහුණ දීම එක්තරා අභියෝගයකි.

* සම නිවුන් ගති ඇත්තෝ

සමහර අඹු සැමියන්ගේ රුචි අරුචිකම් සමානය. ඇසුරු කරන්නේ එකම මිතුරු පිරිසකි. ඇතැම් විට යෙදෙන්නේ එක හා සමාන වෘත්තීන්වලමය.

සමානකම සුබවාදීව දුටුව ද සැම විටම ඔවුනගේ ජීවිත රෝස මල් යහන් වන්නේ නැත. එක් අයකු කෝපයට පත් වූ විට අනෙකා ද කෝපයට පත්වීම ඊට උදාහරණයකි. එහෙත් වාසනාවකට දෙදෙනාගේ කෝපය නිවී යන්නේ ද එකටමය.

* වයස් පරතරයක් ඇත්තෝ

විශාල වයස් පරතරයක් ඇතිව විවාහ වන විට වැඩි දෙනෙක් කම්පාවට පත් වෙති. විද්‍යාඥයන් පවසන්නේ යුවළක අතර පරතරය පස් වසරකට නොවැඩි විය යුතු බවය. වසර ගණන වැඩි වන තරමට දික්කසාද වීමේ ප්‍රවණතාව ද වැඩි වන බව කියැවෙයි. ඔවුන් කෙසේ පැවසුව ද සමගිය රජ කරන පවුල් සංස්ථා නැත්තේ නොවෙයි.

* ජීවිතය සැහැල්ලුවට නොගන්නෝ

ඇතැම් ජෝඩු දවස පුරාම කාර්යබහුලය. එකිනෙකා දෙස බලා සුහද සිනහවකින් සංග්‍රහ කර ගන්නා බවක් ද නොපෙනෙයි. එහෙත් එයින් දෙදෙනා එකිනෙකාව නුරුස්සන බවක් අදහස් නොවෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.