අභියෝගවලට බය නැති මම ඒවා සතුටින් බාර ගත්තා

ජූලි 22, 2020

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA)

පළමු කාන්තා සභාපති - කිමාලි ප්‍රනාන්දු

ගැහැනිය ස්වභාවයෙන්ම ළද බොළඳය. සියුමැලිය. ඒ සිත මලක් තරමටම මෘදු මොළොක්ය. කාරුණිකය. නමුදු ඇසිල්ලකින් ඒ මෘදු සිත ගලක් බවට පත්කර ගන්නටත්, ඕනෑම දුක් ගැහැටක් විඳ දරාගන්නටත් ඇයට ඇත්තේ අසීමිත හැකියාවකි.

එපමණක් නොව ඒ සියුමැලි ගතට දැනෙනා ඕනෑම වෙහෙස මහන්සියක් එක් සිනහවකින් දියකර හරින්නට ඈ සතු හැකියාව අසීමාන්තිකයි.

ඉතින් එවැනි කාන්තාවන්ගේ ජීවිතයේ නැඟීසිටීම්, සාර්ථකත්වයන් ගැන කතා කරනා ‘ජීවිතය අර්ථවත්

කළ ඇය’ විශේෂාංගය වෙත අද අප කැඳවාලන්නේ ද අපූරු කාන්තාවකි.

මෙතෙක් කාලයක් පුරුෂ පාර්ශ්වය විසින් හොබවනලද තවත් එක් මුල් පුටුවකට සපැමිණි ඇය නමින් කිමාලි ප්‍රනාන්දු. එනම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ධූරය හිමිවූ පළමු කාන්තාව එහෙමත් නැතිනම් එහි වර්තමාන සභාපතිනිය ඇයයි.

එපමණක් නොව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, සහ සංචාරක සම්මුති කාර්යාංශය යන ආයතන හතරෙහිම සභාපතීත්වය දරන්නී ඇයයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නට වැඩි දායකත්වයක් සපයන ආයතන කිහිපයක වගකීම් රැසක් දරමින්, ඒ හා සමානව සෙනෙහෙබර දියණියක, බිරියක, මවක ලෙසින් සිය පවුලේ යුතුකම් වගකීම් ඉටුකරනා ඕ සැබැවින්ම අයෝමය කාන්තාවකි.

ඉතින් එන්න ඇය හා සොඳුරු පිළිසඳරකට, ඒ ජීවිතයෙන් ඔබේ ජීවිතයටත් එකතු කරගත හැකි යමක් තිබේදැයි බලන්න.

මගේ ළමාවිය

 

“හරිම සුන්දර ළමාවියක් මට තිබුණා. අද කාලයේ දරුවන්ට වාගේ නෙවෙයි එදා අපට ඕනෑතරම් වෙලාව වාගේම ඉඩකඩත් තිබුණා. වෝඩ් පෙදෙසේ තමයි අපේ නිවෙස තිබුණෙ. විශාල ගෙවත්තක් නිසා අපිට සෙල්ලම් කරන්න හොඳට ඉඩකඩ තිබුණා. ඒවාගේම හරිම සතුටු පවුලක් තමයි මට තිබුණේ. ආච්චි, සීයා, අම්මා, තාත්තා, අක්කා, මම, මල්ලීට අමතරව අපේ ලොකු අම්මලාගේ පවුලත් පදිංචි වෙලා හිටියේ මේ ගෙවත්තෙමයි. ඉතින් අදටත් අපි හැමෝම මේ ඉඩමේ නිවෙස් හදාගෙන පදිංචි වෙලා ඉන්නවා.

මගේ අම්මා අයෝමා කොතලාවල. ඇය සර් ජෝන් කොතලාවලගේ සහෝදරයා වූ ජස්ටින් කොතලාවලගේ දියණියයි. මගේ පියා ජි. සී. වික්‍රමසිංහ. දැන් විශ්‍රාමික සුවයෙන් පසුවෙනවා. අම්මා නම් දැන් සිල් මෑණියෝ කෙනෙක්.

නීතිවේදිනියක වීමේ සිහිනය

මම පාසල් ගියේ බිෂොප් විද්‍යාලයට සහ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. ර්‍ණ/ඹ් වලින් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා. එහිදී ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් හිමි කරගන්නට වගේම බැරිස්ටර් නීතිවේදිනියක් වන්නටත් හැකියාව ලැබුණා. ඇත්තටම එතකොට මගේ සිහිනය වුණේ නීතිවේදිනියක් වීම. මගේ පියාගේ සහෝදරයා වූ තිවංක වික්‍රමසිංහ ජනාධිපති නීතිඥයකු විදිහට හරිම ප්‍රසිද්ධයි. ඉතින් මට අවශ්‍ය වුණේ ඔහු සමඟ එකට වැඩ කරන්නයි.

 

ඡායා - ශාන් රූපස්සර

2020/07/22 තරුණි පුවත්පත බලන්න.